“First step from school to coconut cultivation” The 6th stage of demonstrating and disseminating information about coconut cultivation centred around schools held at the Balabowa Junior School.

“පොල් වගාවට පාසලෙන් මුල් පියවර” පාසල් පාදකව ක්‍රියාත්මක වන්නා වූ වැඩසටහන් මාලාවේ හයවන අදියර බලබෝව කණිෂ්ඨ විද්‍යාලයීය පරිශ්‍රයේ දී

2022 වසරේ අග භාගයේදී, මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ දෙවලපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් ඔවුන්ගේ ප්‍රදේශයට good hands ව්‍යාපෘතියෙන් වැඩසටහනක් ඉල්ලුම්කර තිබුණි. මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය සහ දෙවලපොළ ප්‍රදේශයභාර කෘෂි සංවර්ධන නිළධාරී සුජීව කලුගම්පිටිය මහත්මා සමඟ අප සිදු කළ මූලික අදියරේ සාකච්ඡා අවසානයේ පාසල් ආශ්‍රිත වැඩසටහන් සඳහා මඟ පෑදුණි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් අතුරින් අධ්‍යාපන කටයුතු තුළින් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රමුඛත්වයක් හොබවන බලබෝව කණිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත්තේ නගරයට තරමක් පරිබාහිර දෙවලපොළ නම් ප්‍රදේශයේය. සිසුන් 300කට ආසන්න ප්‍රමාණයක් මෙහි ඉගෙනුම ලබන අතර බොහොමයක් සාමාන්‍ය ආර්ථික මට්ටමේ පවුල්වල සාමාජිකයන් විය. පාසලේ සිසු සිසුවියන්, ගුරුදෙගුරුන්, ග්‍රාමීය ගොවි සමිතියේ සාමාජිකයන් සහ ගම්වැසියන් වෙත අප විසින් මූලික වශයෙන් මෙම වැඩසටහන 2023 වසරේ පෙබරවාරි මස අවසන් සතියේදී ක්‍රියාත්මක කෙරුණි.

බලබෝව කණිෂ්ඨ විද්‍යාලය

මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම්තුමිය, මිනුවන්ගොඩ පොල් සංවර්ධන නිළධාරී, ප්‍රදේශයේ කෘෂි පර්යේශන නිළධාරීතුමිය, දෙවලපොළ ගොවි සමිති සභාපතිතුමා, විදුහල්පති, ගුරුවරුන් සහ දෙමාපියන් මෙන්ම පාසලේ 8-9-10-11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් අප වැඩසටහන වෙත සහභාගී විය. ප්‍රථමයෙන්ම "පොල් වගාව සහ රටේ අනාගතය" පිළිබඳ දේශන මාලාවක් රැස්ව සිටි සැම වෙත දැනුවත් කිරීමට අප කන්ඩායමට හැකිවිය. පොල් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් පැතිර යන සුදු මැස්සාගේ හානිය සහ මර්ධනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම විශේෂයෙන් මෙහිදී සිදු කෙරිණ.

අනතුරුව පොල් බීජයක සිට පොල් පැළයක් සාදා සිටුවීම දක්වා වූ ක්‍රියාකාරකම් සිසු සිසුවියන් වෙත ප්‍රායෝගික දැනුවත් කර, ඔවුන් වෙත පැවරීම සිදු කෙරිණ. මෙහිදී පාසලේ දූ දරුවන් සඳහා පොල් බීජ 100කින් පමණ සමන්විත වූ බීජ තවානක් ඔවුන්ගේ සියතිනම තැනිය හැකිවිය. එම සැසිය අවසානයේ දී රැස්ව සිටි සියල්ලන්ගේම සහයෝගය ඇතිව පාසල් පරිශ්‍රයේ කප්රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ.

පාසල් සිසු සිසුවියන්ගේ වැඩිදුර අධ්‍යනය සඳහා "good hands පොල් වගාවේ අත්පොත" අප විසින් පුස්තකාලය වෙත පිරිනැමුණ අතර වැඩසටහනට සම්බන්ධ වූ සියල්ලන්හටද බෙදාහැරිණ. අවසානයේදී වැඩසටහන වෙත සහභාගිවූ ගොවි සමිති සමාජිකයන්, ගම්වාසී දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් වෙත good hands සංකල්පයට දැක්වූ උනන්දුවට සහ වැඩසටහන සඳහ දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස තවාන් කිරීමට පොල් බීජ මෙන්ම රෝපණයට පොල් පැළ, බෙදාහරින ලදී.

ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය

බලබෝව ගම්මානයේ මධ්‍යයේ පිහිටි ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය සාමාන්‍ය විහාරස්ථාන අතුරින් තරමක් වෙනස් වූ ස්ථානයකි. මෙයට හේතුව, එම විහාරස්ථාන වාසී හිමියන්, ආගම දහමේ කටයුතුවලට නොදෙවනිව එම පරිශ්‍රයේ කෘෂිකාර්මික කටයුතු තුළද නියැලී සිටීමයි. විහාරාධිපති කන්ද කුඹුරේ නන්දසාර හිමියන් අප ව්‍යාපෘතිය වෙත මහත්වූ ගරුත්වයක් දැක්වූ අතර පාසලේ ක්‍රියාත්මක කළ වැඩසටහනටද සඳහාද දායකත්වයක් මුල සිටම දක්වා තිබුණි. එම ස්වාමීන් වහන්සේහට සිදු කරන ගෞරවය ලෙසින් විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණය සදහා පොල් පැළ සහ බීජ ප්‍රදානය කිරීමක් අවසානයේදි අප අතින් සිදු කෙරිණ.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.