Intercropping Pineapple with Coconut In Sri Lanka(Ananas comosus)

පොල් සමඟ අන්නාසි අතුරු බෝග වගාව

ලංකාවේ පළතුරු ගැන සැලකීමේදී අන්නාසි යනු සාපේක්ෂව අනිත් පළතුරු හා සැසඳීමේදී තරමක් විශාල, රසවත් සහ සාරවත් බෝගයකි. පොල් වගාව සමඟ අතුරු බෝගයක් ලෙස ඒ ඒ ඉඩම් වල ඉතා ලාභදායී ලෙස මෙම පළතුර වගා කළ හැක. “අනනාස් කොමොසස්” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අන්නාසි, “බ්‍රොමිලිසියේ” කුලයට අයත් වන ශාකයකි. අන්නාසි අනෙක් පළතුරු වලට වඩා දේශීයව මෙන්ම විදේශීයව පවතින අධික ඉල්ලුම හේතුවෙන් වැඩි වාණිජමය වැදගත්කමක් සහිත බෝගයක් ලෙස සැලකිය හැක.

ශ්‍රී ලංකාව තුළ අන්නාසි නිෂ්පාදනයෙන් 70% පමණ සැපයෙන්නේ ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි. සමීක්ෂණවලට අනුව, 2010 වසර තුළ හෙක්ටයාර 4956 ක වපසරියක් ඇතුළත අන්නාසි නිෂ්පාදනය ගෙඩි මිලියන 44.2 ඉක්මවා ඇති බව පෙනෙයි. තවද එම වසර තුළ අන්නාසි අපනයන කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 798ක් පමණ වන අතර, අපනයන ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 116.9 ක් පමණ වේ.

ඔබ දන්නවා ද...

පොල් අක්කරයක අන්නාසි පැළ 5000ක් පමණ සිටුවිය හැකි බව.

අන්නාසි ශාකය ගත්විට බොහොමයක් ඖෂධීය ගුණයන්ගෙන් සහ ප්‍රයෝජන රැසකින් යුක්තය. අන්නාසි පත්‍ර මිරිකා ගත් යුෂ විරේක බෙහෙතක් ලෙස භාවිතා කළ හැකි අතර, ඉක්කාව නවත්වා ගැනීමටද උපකාර වේ. තවද පත්‍ර කෙඳි රෙදිපිළි නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. අමු අන්නාසි පළතුර භාවිතයෙන් බඩ පිපීම වැනි රෝග මඟහැරිය හැක. පාචනය සහ සෙංගමාලය වැනි රෝග සමනය කිරීමට යොදා ගන්නා ඖෂධයක් ලෙස ඉදුණු අන්නාසි භාවිතා කරන අතර එහි අඩංගු “බ්‍රොමිලින්” නම් වූ එන්සයිමය හේතුවෙන් ආහාර දිරවීම පහසු කරවයි. මීට අමතරව බොහොමයක් පෝෂණීය ගුණයන්ගෙන් යුක්ත පළතුරක් ලෙස මෙය භාවිතා වේ.

අන්නාසි වගා කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු

  • වර්ෂාපතනය

වසරකට මිලි මීටර් 1500 - 3000 අතර වර්ෂාපතනයක් සහිත ප්‍රදේශ වඩාත් සුදුසුය.

  • උෂ්ණත්වය

උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 24 - 32 අතර පවතින ප්‍රදේශ වගාව සඳහා වඩාත් උචිතය.

  • පස

වගාවට ඉතාමත් සුදුසු වන්නේ වැලි සහිත ලෝම පසයි. තද මැටි හෝ වැලි සහිත ඉඩම් හෝ අධික ලෙස හුණු අඩංගු පස මෙම වගාවට නොසුදුසුය. තවද හොඳින් ජලය බැස නොයන ඉඩම් මේ සඳහා යෝග්‍ය නොවේ. Ph අගය සාමාන්‍යයෙන් 5.5 - 6 ක් වූ තරමක් ආම්ලික, තරමක් උසස් මට්ටමකින් හෝ පවතින කබොක් පසද වගාව සඳහා යෝග්‍ය වේ.

  • හිරු එළිය

සාර්ථක අන්නාසි වගාවක් සඳහා හිරු එළිය අත්‍යවශ්‍ය සාධකයකි. වයස අවුරුදු 5ට අඩු සහ වයස අවුරුදු 30ට වැඩි පොල් වගාවන් යටතේ අන්නාසි වගා කිරීම වඩා සාර්ථක වේ.

  • ප්‍රභේද

ලොව පුරා අන්නාසි ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පැතිර තිබුණද ශ්‍රී ලංකාවේ වාණිජ වගාවක් ලෙස ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් වගා කරයි.

1. මුරුසි

මෙම ප්‍රභේදයේ පත්‍ර කටු සහිතය. නැවුම් පළතුරක් ලෙස වැඩි වශයෙන් ආහාරයට ගනී. පොත්තේ වැඩි ගැඹුරකින් පිහිටා ඇති “ඇස්” පැහැදිලිව පිටතට නෙරා ඇත. හොඳින් ඉදුණු ගෙඩියකින් ප්‍රසන්න සුවඳක් හමයි. එහි මදය රන් පැහැයට හුරු කහ පැහැයකින් යුක්තය. ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.5 - 1.8 ත් අතර වේ.

2.කිව්

මෙම ප්‍රභේදයේ පත්‍ර කටු රහිතය. ටින්වල ඇසිරීම සඳහා විශේෂයෙන් යොදා ගැනේ. මුරුසි ප්‍රභේදයට වඩා මෙහි ඵලය සහ පඳුර විශාලය. මීට අමතරව මුරුසි ප්‍රභේදයට වඩා ඇඹුල් රසය වැඩිය. එහි මදය ලා කහ පැහැයකින් යුක්තය. ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 2 -2.5 ත් අතර වේ.

රෝපණ ද්‍රව්‍ය සාදා ගැනීම

"මොරෙයියා" නම් කොටස, අන්නාසි වගා කිරීම සඳහා භාවිතා කරයි. මෙම මොරයියන්ගේ විශාලත්වය සාමාන්‍යයෙන් එහි ප්‍රභේදය, වගා කරන ප්‍රදේශය සහ පාලන තත්ත්ව අනුව වෙනස් වේ.

1.මුල් මොරෙයියන්

2. අක්ෂි මොරෙයියන්

3. නටු මොරෙයියන්

4. කරඬුව

සිටුවීම සඳහා බහුල වශයෙන් භාවිතා කරන්නේ, අක්ෂි මොරෙයියන් සහ මුල් මොරෙයියන් ය. කෙසේ වුවත් නටු මොරෙයියන් හෝ කරඬුව සිටුවිය හැකි වුවත්, අස්වැන්න අඩුය. සිටුවීමට ගන්නා මොරෙයියන්ගේ පත්‍ර 12 ත් 14ත් අතර පැවතීම, සිටුවීමට යෝග්‍යම අවධිය ලෙස සලකයි. ඊට අඩු පත්‍ර පමාණයක් ඇති මොරෙයියන් සිටුවහොත් අස්වැන්න ලබා ගැනීමට ගතවන කාලය වැඩි වේ.

මොරෙයියන් නිපදවීම සඳහා පඳුරු වෙතින් ගෙඩි කඩා ගත් පසු ඉතුරුවන මව් ශාක යොදාගනිමින් සිදු කළ හැක. තවාන් ක්‍රමවේද මඟින් නිපදවාගන්නා මොරෙයියන්, සිටුවීමට පෙර කෘමිනාශක සහ දිලීර නාශකයකින් පූර්ව ප්‍රතිකාරයක් සිදුකළ යුතුය. මෙයට හේතු වන්නේ මොරෙයියන් මඟින් වගාවට බෝවීමට ඉඩ ඇති වෛරස් රෝග පතුරුවන පිටි මකුණා සහ දිලීර රෝග මුල් අවස්ථාවේදී ම පාලනය කිරීමටයි.

මීට අමතරව කඳ කැබලි වලට කපා සිටුවීමෙන් සහ පටක රෝපණ මගින්ද පැළ නිපදවා ගත හැක.

පොල් සමඟ අන්නාසි සිටුවීම

  • • ක්ෂේත්‍රය සැකසීම

පොල් වගාබිමේ පස පෙරලීම මූලිකවම සිදු කළ යුතු වේ. පසුව පෙරලූ පසේ, පස් කැට පොඩි කර අන්නාසි පැළ සිටුවන ක්‍රමය අනුව කාණු සැකසිය යුතුය. තැනිතලා ඉඩමක නම් නැගෙනහිර සිට බටහිර දිශාව ඔස්සේ කාණු කැපීම වඩාත් සුදුසුය. සෙන්ටි මීටර 10ක් පමණ ගැඹුරු කාණු /අගල් යෙදීම සිදු කළ හැක. කාණු මත තැබූ (මොරයියන්ගේ) පැළයේ පාදස්ථ කොටසින් සෙන්ටිමීටර 10- 15 ක ප්‍රමාණයක් වැසෙන සේ විරුද්ධ වැටියේ පස් වලින් වසා දමන්න.

  • රෝපණ පද්ධති

1. තනි පේළි පද්ධතිය

මෙම ක්‍රමවේදය මුරුසි ප්‍රභේදයට වඩාත් සුදුසු වේ. මෙහිදී මූලිකවම පොල් ගස් පේළි දෙකක් අතරට, අන්නාසි පැළ පේළි 3ක් යෙදීම සිදු කරයි. සෑම පොල් ගසක සිටම අඩි 6.5ක අවම දුරක් පවතින ලෙස අන්නාසි පැළ සිටුවීම සිදුකරයි. මෙහිදී අන්නාසි පැළ පේළි 2ක් අතර පරතරය අඩි 6ක් වත් විය යුතු වන අතර අන්නාසි පැළ 2ක් අතර පරතරය අඩියක් හෝ අඩි 1.5ක් විය යුතුය. මෙම මෙම ක්‍රමය භාවිතයෙන් අක්කරයක පමණ භූමි ප්‍රදේශයක, අන්නාසි පැළ 3500ක ප්‍රමාණයක් සිටුවිය හැක.

2. ද්විත්ව පේළි පද්ධතිය දැනට බහුලවම භාවිතා වන ක්‍රමවේදය ලෙස මෙය හැඳින්විය හැක. මෙහිදී මූලිකවම පොල් ගස් පේළි 2ක් අතරට, අන්නාසි පැළ පේළි යුගල් 2ක් යෙදීම සිදු කරයි. පෙර පරිදිම සෑම පොල් ගසක සිට ම අඩි 6.5ක අවම දුරක් පවතින පරිදි අන්නාසි පැළ සිටුවීම අරඹයි. මෙහි පවතින අන්නාසි පේළි යුගලයක, පැළ පේළි 2ක් අතර පරතරය අඩි 2ක් පමණ වේ. මීට අමතරව අන්නාසි පැළ පේළි යුගල් 2ක් අතර පරතරය අඩි 8ක් පමණ විය යුතුය. මෙම ක්‍රමය භාවිතයෙන් අක්කරයක භූමි ප්‍රදේශයක, අන්නාසි පැළ 5000 ක් පමණ ප්‍රමාණයක් සිටුවිය හැක.

දැනට බහුලවම භාවිතා වන ක්‍රමවේදය ලෙස මෙය හැඳින්විය හැක. මෙහිදී මූලිකවම පොල් ගස් පේළි 2ක් අතරට, අන්නාසි පැළ පේළි යුගල් 2ක් යෙදීම සිදු කරයි. පෙර පරිදිම සෑම පොල් ගසක සිට ම අඩි 6.5ක අවම දුරක් පවතින පරිදි අන්නාසි පැළ සිටුවීම අරඹයි. මෙහි පවතින අන්නාසි පේළි යුගලයක, පැළ පේළි 2ක් අතර පරතරය අඩි 2ක් පමණ වේ. මීට අමතරව අන්නාසි පැළ පේළි යුගල් 2ක් අතර පරතරය අඩි 8ක් පමණ විය යුතුය. මෙම ක්‍රමය භාවිතයෙන් අක්කරයක භූමි ප්‍රදේශයක, අන්නාසි පැළ 5000 ක් පමණ ප්‍රමාණයක් සිටුවිය හැක.

අන්නාසි සඳහා පොහොර යෙදීම

අන්නාසි වගාවෙන් හොඳ අස්වැන්නක් ලබාගැනීමට කාබනික පොහොර මෙන්ම නිර්දේශිත රසායනික පොහොර ද නිසියාකාරව යෙදිය යුතුය. එලෙසම වගා කරන්නාවූ පසේ PH අගයට ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත යුතුය. සාමාන්‍යයෙන් PH අගය අඩු වූ අවස්ථාවක ඩොලමයිට් යෙදීම සිදු කරයි.

පැළ සිටුවීමට සති දෙකකට පමණ පෙර වගා භූමියේ පස් සමඟ කුකුල් පොහොර, ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කළ හැක (අනිවාර්යයෙන්ම නොවේ). කාබනිකව අන්නාසි වගාවේදී කුකුල් පොහොර, එළු පොහොර සහ කොම්පෝස්ට් පොහොර ක්‍රමානුකූලව භාවිතා කර සාර්ථක අස්වැන්නක් ලබා ගත හැක.

  • රසායනික පොහොර මිශ්‍රණ

රසායනික පොහොර අන්නාසි වගාව සඳහා, පොහොර මිශ්‍රණයක් ලෙස හෝ ඒ ඒ සංඝටක වෙන වෙනවම ද භාවිතා කළ හැක. පහත දක්වා ඇත්තේ එක් පැළයක් සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණයි.

  • වියළි හා අතරමැදි කලාප සඳහා

තෙත් කලාපය සඳහා

සැලකිය යුතු කරුණු කිහිපයක්

  • පසේ හොඳින් තෙතමනය පවතින විට පමණක් පොහොර යොදන්න
  • පළමුවරට පොහොර යෙදීමේදී, පැළය ආසන්නයේ ඇති පස වෙතට යොදන්න.
  • පසුව පැළයට පහළින් ඇති පත්‍ර අතරට වැටෙන සේ පොහොර යොදන්න. (ගොබයට / ඔටුන්නට පොහොර නොවැටීමට වග බලාගන්න)

ජල සම්පාදනය

වියළි කාලයේදී ප්‍රමාණවත් පරිදි ජල සම්පාදනය කිරීම මඟින් හොඳ අස්වැන්නක් ලබාගත හැක. පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට කොහුබත් හෝ වෙනත් සුදුසු වසුනක් පැළ පේළි අතරට යෙදීම වැදගත්ය. කොහුබත් සපයා ගැනීමට අපහසු වුවහොත්, අන්නාසි වගාවේ පේළි දෙපස පස් වැටි මුදුන් කර, වසුනක් ලෙස භාවිතා කළ හැක. අන්නාසි බෝගය සඳහා පාංශු තෙතමන ප්‍රමාණය, එහි ක්ෂේත්‍ර ධාරිතා මට්ටමට ආසන්නව පවත්වා ගැනීම හොඳ අස්වැන්නක් සඳහා යෝග්‍ය වේ.

  • මල් හට ගැනීම

අන්නාසි වගාවක මල් හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නේ ජනවාරි සහ පෙබරවාරි යන මාස වලදීය. නමුත් ස්වාභාවික මල් හටගැනීමේ දී, අස්වනු එකම කාලයක් තුළ වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සිදුවේ. මෙහිදී ඇතිවන ගැටලු මඟහරවා ගැනීම සඳහා කෘතිමව මල් හට ගැනීම උත්තේජනය කිරීම සිදුකරනු ලබයි. මේ සඳහා කෘතිමව සංස්ලේෂණය කරන ලද “එතිපෝන්” හෝ “නැප්තලීන් ඇසිටික් ඇසිඩ්” අඩංගු හෝමෝන වර්ග බහුලව භාවිතා කෙරේ.

අස්වනු නෙළීම

නිසිලෙස පැසී ඇති ගෙඩි පමණක් නෙළා ගත යුතුය. ගෙඩියේ පිට පොත්තේ ඇති "ඇස්" හොඳින් පළල් වී සම්පූර්ණ වූ ගෙඩි, පැසුණු ඵලයන් ලෙස සලකයි. ගෙඩියේ පිට පොත්තේ 25% ක් පමණ කහ පැහැ වී ඇති විට අස්වනු නෙළීම සිදු කරයි. පළමු අස්වැන්නෙන් පසු දෙවන අස්වැන්න සඳහා පෙර සඳහන් කළ පරිදි පඳුරට පොහොර යෙදීම සහ නඩත්තුව දිගින් දිගටම කළ යුතුය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.