good hands – The Concept

good hands සංකල්පය

කප්රුක සහ සුරතුර නමින් හැඳින්වෙන පොල්ගස ශ්‍රී ලංකාව සහ එහි ආහාර සංස්කෘතිය සමග පරම්පරා ගණනාවක බැඳීමක් ඇත්තකි.

පෙරදින මෙම කප්රුක දිවයින පුරා පැතිර පැවති නමුදු, නූතනයේ පෙර හා සමානවම රෝපණය කරනු දක්නට නොලැබේ.

මෑත අතීතයේ දී, ශ්‍රී ලංකාවේ නිර්යාත ආදායමට පිළිවෙලින් උර දී තිබුණේ, තේ, රබර් සහ පොල්ය. නිර්යාත භෝගයක් ලෙසින් මනාව ස්ථාපිතව තිබුණද, පොල් සම්මතයක් ලෙසින් ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය සංයෝජනයක්ද විය. මෑතක් වන තුරු කප්රුක් පාර දෙපැත්තේත්, ගෙවුයන් තුළත්, ගම්බද මෙන්ම නගරබද පොදු ස්ථානයන්හීත් දිවයින පුරා දක්නට ලැබිණි. මෙලෙසින්ම බොහෝ ශ්‍රී ලාංකිකයින් තම ගෙවත්තෙන් ලබා ගන්නා පලදාවෙන් තම දෛයිනික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පුරුදුව සිටියේය.

ජනාවාසී පෙදෙස් වලින් ක්‍රමිකව පොල්ගස් අතුරුදහන් වීම පසු ගිය දශක කිහිපය පුරාවටම ඉතාමත් කැපී පෙනෙන ලෙසින් දිස් විය.

නාගරීකරණය සඳහා ඇති වූ ශීඝ්‍ර ඉල්ලුමත් සමගම, පොල්වතු කුඩා බහු විධ සමාගම් මෙන්ම විවිධ පුද්ගලයින් විසින්ද වාණිජමය පරමාර්ථ පෙරදැරිව, කොටස් කර විකිණිමද ඇරැඹිණි.

ඉතාමත් කෙටි කලකින් මෙරට පරිභෝජනය සඳහා මෙන්ම නිර්යාතයන් සඳහා ද ඉල්ලුම සැපයීමට පොල් පලදාවට නොහැකි විය.

ඊලඟ දශකයේදීත් මෙම පලදා ඌණතාවය පැවතුණහොත්, ඉතාමත් දරුණු නිෂේධාත්මක බලපෑමක් පොල් කර්මාන්තයේ සෑම අංශයකටමත්, පොල් මිල වැඩිවීමටත් ඇති කරන බැව් අනිවාර්ය කරුණක් වන්නේය.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී ක්ෂණිකව ක්‍රියාත්මක වුවහොත්, පවතින ව්‍යසනකාරී තත්ත්වයෙන් මිදීම අසීරු නොවන්නේය. සාධනීය ක්‍රියාකාරී සැළැස්ම වන්නේ ප්‍රශ්නයේ මූලය හඳුනාගෙන, එයට නිසි පිළියම් යෙදීමයි.

මෙම මූලය වන්නේ අවශ්‍යතාවයේ පමණට පොල්ගස් නොමැති වීමයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල පොල් පරිභෝජනය ඉහළ අගයක් ගෙන ඇත්තේ අපගේ සාම්ප්‍රදායික ආහාරවේල වැඩිමනත් පොල් මත පදනම්ව තිබීම නිසාවෙනි.

දැනට ඇස්තමේන්තු කර ඇති අන්දමට, පොල් බිලියන 1.8ක් පමණ, එනම් වාර්ෂික පලදාවෙන් සියයට 70ක් පමණ, භාවිතා වන්නේ ගෘහාශ්‍රිත ආහාර සඳහා වෙනුවෙනි.

එමෙන්ම නූතන අධ්‍යනයන්ගෙන් පෙනී යන්නේ එක් පොල් ගසකින් ලැබෙන්නා වූ පලදාව එක් පුද්ගලයෙකුගේ වාර්ෂික පරිභෝජනය සඳහා සෑහෙන බවයි.

good hands සංකල්පය මගින් හඳුන්වා දෙනු ලබන්නේ අවම වශයෙන් එක් පුරවැසියෙකු එක් පොල්ගසක් හෝ රෝපණය කර එය නඩත්තු කිරීමේ අගනා අදහසයි.

මෙයින් වාර්ෂිකව අවම වශයෙන් බිලියන 1.8 ක පමණ පොල් පලදාවක් ලබා ගත හැකි වනු ඇත.මෙමගින් නිවසේ ආහාර වියදම අඩු කර ගත හැකිවනවා පමණක් නොව නිවසේ පිසින ආහාරයන්ගේ සුරක්ෂිත බව සහ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා වීමද නිතැතින්ම සිදු වේ.

මෙය ජාතික ආහාර සුරක්ෂිතභාවය කෙරෙහිද බලපෑමක් ඇති කරනු නිසැකය. එමතුදු නොව, මෙම අළුතින් එකතු වන්නා වූ බිලියන 1.8ක පමණ පලදාව නිසාවෙන් නූතනයේ පරිභෝජනය කෙරෙන්නා වූ බිලියන 1.8 ඉතිරි වන්නේය.

මෙම ප්‍රමාණය පොල් යොදා කෙරෙන විවිධ කර්මාන්ත සඳහා භාවිතා කර අපනයනය කිරීමෙන් රටට අද අත්‍යවශ්‍යව තිබෙන්නා වූ විදේශ විනිමයද ලබා ගැනීමට හැකි වන්නේය. මෙම අතිරේකව ලැබෙන්නා වූ විදේශ විනිමය රටෙහි ඉක්මන් ආර්ථික සංවර්ධනයට උපස්ථම්භක වෙනවා නිරනුමානය.

good hands ඉදිරි ගමන

සුදුසු ස්ථානයක එක් අයෙකු එක් පොල් පැළෑටියක් රෝපණය කිරීමෙන් මෙය ඇරඹිය හැකිය.

මෙමගින් ශ්‍රී ලංකාවේ ජනගහණයට සමතුලිත වන ප්‍රමාණයක පොල් ගස් සමූහයක් වර්ධනය කර ගැනීමේ විභවය පවතියි.

එහි අවසන් ප්‍රථිපලය වන්නේ රට තුළ ගෘහීය පරිභෝජනයට අවශ්‍ය වන්නා වූ පොල් පලදාවෙන් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වීමයි. තමන්ම වවා ලබා ගන්නා වූ පොල් පලදාවෙන් පිරිවැය අවම වීම හේතුවෙන් ලැබෙන්නා වූ ප්‍රථිලාභ ඉමහත්ය.

එමෙන්ම ගෘහස්ථ ආහාර සුරක්ෂිතභාවය ද ඉහළ අගයක් ගනු ඇත. මේ සියල්ලම රටෙහි ආහාර සුරක්ෂිතභාවයටද ඉමහත් බලපෑමක් ඇති කරන්නේය.

එමතුදු නොව අළුතින් රෝපණය කිරීමෙන් පසු ලබා ගන්නා සෑම පොල් ගෙඩියක්ම දැනට සිටුවා පල දරන්නා වූ පොල් ගෙඩියක් සඳහා වන්නා වූ ආදේශකයකි. එම ලබා ගන්නා පොල් අපනයනය සඳහා කෙරෙන නිපැයුම් වෙනුවෙන් භාවිතා කිරීමෙන් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය සම්භාරයක් සොයා ගත හැකි වන්නේය. අද සිදු කරන ඉතාමත් ම පහසු සරල good hands ක්‍රියාවක් හෙට දින මුළු මහත් ජාතියම වර්ධනය කරන්නෙහිය!

good hands ප්‍රජා සත්කාරය

සුදුසු තැනෙක, එක් පැළයක් හෝ රෝපණය කිරීම සඳහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවශ්‍ය වන්නා වූ තොරතුරු සහ පිටුබලය රෝපණය සහ නඩත්තුවේ සෑම අදියරයකදීම ලබා දෙනු ඇත. මෙයට බීජ / බීජාංකුර ලබා ගැනීමේ ක්‍රියා දාමයේ සිට පලදාව ලබා ගන්නා අවස්ථාව දක්වා ම කාල පරාසය ඇතුළත් වෙනු ඇත.

එමෙන්ම මෙම ජාතික කර්තව්‍යයේ උන්නතිය සඳහා ප්‍රයෝජනවත් වන්නා වූ යෝජනා සහ උපදෙස් ජන සමාජයෙන් ද, පොල් කර්මාන්තයේ නියුතු ප්‍රාමාණිකයින්ගෙන් ද, පොල් වවන්නා වූ ප්‍රජාවගෙන් ද, රාජ්‍ය බලධාරීන්ගෙන් ද අනෙකුත් සියළුම අදාළ පාර්ශවයන්ගෙන් ද, අවසාන අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා ලබා ගැනීම ද සිදු කෙරෙන්නෙහිය.

ඔබ දැන සිටියාද?

* පොල් ගසක් පල දරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු පහකින් පසු බව?

* පොල් ගසක වඩාත් ඵලදායී තුරුණු විය වන්නේ වසර 30 සිට 50 දක්වා බව?

* පොල් ගසේ ක්ෂය වීම එතැන් සිට ඇරඹෙන බව?

* වසර 80 දී එය මිය යන බව?

* එසේනම් අද අප අනුභව කරන්නේත්, නොයෙකුත් පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා යොදා ගන්නේත්, අප රෝපණය කළ පොල් නොව, අපගේ මුතුන් මිත්තන් වගා කළ පොල් ගස්වල පලදාව බව?

* අපි අද ක්‍රියාත්මක වී එක් පොල් පැළයක් හෝ රෝපණය නොකළහොත් අපි අපේ දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් අපගේ යුතුකම ඉෂ්ඨ නොකරන්නවුන් බව?

* අපි අද අදම ක්‍රියාත්මක නොවුනහොත්, ඔවුන්ට පරිභෝජනය කිරීමට පමණක් නොව දැකීමට හෝ පොල් ගසක් අනාගතයේදී නැති වන බව?

* ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් ගුණ ගරුක, කෙළෙහි ගුණ අගය කරන්නා වූ ජාතියක් ලෙසින් පිළි ගැනීමක් ඇති බව?

* එසේනම් අපගේ මුතුන් මිත්තන්ගේ පලදාව භාවිතා කළ අපි ඔවුන්ට කෘතවේදීත්වය පල කිරීම සඳහාත්, අනාගත පරපුර උදෙසාත් අවම වශයෙන් එක් පොල් පැළයක් හෝ රෝපණය කළ යුතු නොවේද?

* තවත් පමා නොවන්න! අදම ක්‍රියාත්මක වන්න!

* කප්රුක් වවන්නෝ දිනන්නෝය!!!