Organic fertilizer for coconut cultivation

පොල් වගාව සඳහා කාබනික පොහොර

ස්වභාවික පස මගින් ගසට සැපැයිය හැකි පෝෂක ප්‍රමාණය සීමා සහිත බව සහ රසායනික පොහොර සපයා ගැනීමට ඇති අපහසුව පිළිබඳව, වර්තමානයේදී අප සියලුදෙනා දැනුවත් කරුණුය. ඕනෑම ශාඛයක වර්ධනය හා ඵලදාව සඳහා අවශ්‍ය වන මූලික හා අත්‍යවශ්‍ය පෝෂක ලෙස නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම්, මැග්නීසියම් සැලකිය හැක. සාමාන්‍යයෙන් මෙම පෝෂක පසෙන් ලබාගත්තද, පොල් කොළ ,අතු හා හනසු ආදිය මිනිසාගේ පරිභෝජන අවශ්‍යතා සඳහා වගාබිමෙන් ඉවත් කරගැනීම හේතුවෙන් පොල් ගසට කෘත්‍රිමව පොහොර යෙදීමට අනිවාර්ය වී ඇත.

කාබනික පොහොර මගින් ශාක වර්ධනයට අවශ්‍ය මූලික, ද්වීතියික හා අංශුමාත්‍රවලට අවශ්‍ය ශාක පෝෂ්‍ය සියල්ල පසට එක්වීම සිදුවේ. මෙය එකවර සිදු නොවූවත් ක්‍රමක් ක්‍රමයෙන් යම් කිසි කාලයක් ගතව සිදුවන ක්‍රියාවලියකි. මේ නිසා කාබනික පොහොරවලට දිගු කාලයක් තුළ සෙමෙන් හා පහසුවෙන් ශාක පෝෂ්‍ය නිදහස් කිරීමේ හැකියාව පවති. තවද රසායනික පොහොර මගින් ඉතා ඉක්මනින් ශාක පෝෂක නිදහස් වීම නිසා පෝෂක පරිසරයෙන් ඉක්මනින් සෝදායාම සිදුවිය හැකි නිසා ජල ප්‍රභවයන් දූෂණය වීම, සතුන්ට අහිතකර වීම සිදුවේ. මේ අයුරින් වක්‍රාකාරව මිනිසාගේ පරිභෝජනයට ද මෙම විෂ සහිත එක්වීම සිදුවන අතර දරුණු පිළිකා තත්ත්ව සහ වකුගඩු රෝග වලට නිරායාසයෙන් නිරාවරණ වීම සුලභව සිදුවේ.

මේ නිසා කාබනික පොහොර භාවිතය නිසා පසේ වැදගත් රසායනික ලක්‍ෂණයක් වන ශාක පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාව නිසා
පොහොර පසෙන් ඉවත් වී අපතේයාම අවම වේ.

කාබනික පොහොර භාවිතයේ වාසි කිහිපයක් නම්,
• ගුණාත්මයෙන් යුතු ඉහළ ඵලදාවක් ලබා දීම.
• පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මනා ඉවහල් වීම.
• ශාක වර්ධනයට අවශ්‍ය සියළුම පෝෂක (ප්‍රාථමික, ද්විතීක හා අංශුමාත්‍ර) ලබා දීම.
• පසේ කාබනික කොටස් ප්‍රමාණය ඉහළයාම නිසා පසේ භෞතික හා රසායනික ලක්ෂණ වැඩි දියුණු විම.
උදා :- පසේ ව්‍යුවහය, ජලය රඳවා ගැනීමේ හැකියාව, ප්‍රශස්ත pH අගය ඇති කිරීම, කැටයාන හුවමාරු ධාරිතාව වැඩි දියුණු කිරීම.
• ශාඛ රෝග සහ පළිබෝධ වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
• පාංශු දිලිර රෝග මර්ධනය කරයි.
• පරිසරයට හිතකර වේ.

කාබනික පොහොර වර්ග

මූලික ලෙසම මෙම පොහොර වර්ග වල පෙර සඳහන් කළ පරිදි අත්‍යාවශ්‍යක නයිට්‍රජන් මූලද්‍රව්‍ය සුලබ වේ.
1.සත්ත්ව පොහොර - ගොම පොහොර, කුකුල් කොටු පොහොර, එළු පොහොර.

  • කුකුල් පොහොර කූඩු වලින් ඉවත් කර මාස 2-3 ක්ෂේත්‍රයේ ගොඩ ගස තබා පදම් වූ පසු භාවිතා කල යුතුය.
  • 20% -30% ක් පමණ තෙතමනය පවතී නම් වඩාත් යෝග්‍යවේ.

2.ශාක පොහොර (ග්ලිරිසිඩීයා, වල්සූරිය, එරබදු)

3. කොම්පෝස්ට් (කොකෝ - කොම්පෝස්ට්)
සැ.යු - පොල් ගසට කාබනික පොහොර යෙදීමේ දී වසරකට අවශ්‍ය පෝෂක ප්‍රමාණය සැලකිය යුතුය. කාබනික පොහොර වල අඩු සාන්ද්‍රණයකින් ප්‍රධාන පෝෂක අඩංගු බැවින් යෙදිය යුතු ප්‍රමාණය විශාලය.

කාබනික පොහොර යෙදිය යුතු කාලය

පසේ තෙතමනය ඇතිවිට හෝ වැසි සමය ආරම්භයේදී. බුරුල් වූ වැලි පසක් හෝ නිතර වතුර රැදෙන පසක නම් තද වැසි අවසානයේ පොහොර
යෙදිය යුතුය.

පැළ අවධියේ වූ පොල් ගස් සඳහා කාබනික පොහොර යෙදීමේදී,

ගසේ මුල සිට පොහොර කවයේ විසුරුවා, පස් සමඟ කලවම් කර වසුනක් දැමිය යුතුයි. සාමාන්‍යය පරිදිම ගසේ වයසට අනුකූලව පොහොර කවයේ ප්‍රමාණය වැඩි වේ.

ඵල දරණ අවධියේ වූ පොල් ගස් සඳහා කාබනික පොහොර යෙදීමේදී,

ඵල දරණ ගස් සඳහා ගසේ මුල සිට අඩි 02ක් හෝ 03ක් දුරින් වනසේ, අඩි 03 පළල හා අඟල් 3 - 4 ක් ගැඹුරට උදැල්ලෙන් කපා, තුනී කරගනී. එයට කාබනික පොහොර දමා පස් සමඟ කලවම් කර පසුව පොහොර කවය පොල් අතු වලින් හෝ සුදුසු ද්‍රව්‍යයකින් වසුන් කළ යුතුය.

පොල් පැළ සදහා මෙන්ම ඵල දරන ගස් සදහා ද ඔබ භාවිතා කරන කාබනික පොහොර වර්ගය හා දේශගුණික කලාප අනුව නිර්දේශිත ප්‍රමාණය නිසි ලෙස වසරකට වරක් යෙදීම වැදගත්‍ වේ.

ඔබ භාවිතා කරන කාබනික පොහොර වර්ගය සහ දේශගුණික කලාප අනුව, පොල් පැළවලට මෙන්ම ඵල දරන ගස් සඳහා වසරකට වරක් නිර්දේශිත ප්‍රමාණය යෙදීම වැදගත් වේ.

කාබනික පොහොර යෙදීමේදී,

පොල් වගා කරන්නන්ට තමන්ගේ අවශ්‍යතාවය මත කාබනික පොහොර යෙදීම සදහා පහත සඳහන් එක් ක්‍රමයක් තොරා ගත හැකියි.

1.කාබනික පොහොර සමග අමතර රසායනික පොහොර භාවිතය.

  • කාබනික පොහොර සමග යෙදිය යුතු අතිරේක පොහොර රසායනික / අකාබනික පොහොර මගින් සැපයීම සිදු කෙරේ.

    2.කාබනික පොහොර පමණක් භාවිතය.
  • මෙහිදී භාවිතා කරන කාබනික පොහොර වර්ගයට අමතරව යෙදිය යුතු අතිරේක පොෂක ප්‍රමාණයන්, නිධි මගින් ලබාගන්නා ඛනිජ හෝ කාබනික ද්‍රව්‍ය මගින් ලබාදේ. මෙම ක්‍රමය කාබනික පොල් වගාව ලෙස හැදින්වේ.

    3.කාබනික සහ අකාබනික පොහොර භාවිතය. (ඒකාබද්ධ පෝෂක කළමනාකරණය)
  • මෙහිදී පොහොර නිර්දේශ සදහා අර්ධ වශයෙන් කාබනික පොහොරද, ඉතිරි අර්ධය අකාබනික පොහොරද ඇතුලත් කර ඇත. පොල් වගාව සදහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමානයම සොයාගැනීමට නොහැකි අවස්තාවලදී මෙම ක්‍රමය ඉතා පහසු සහ වාසිදායක වේ.

පොල් වගාව සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමේ ක්‍රමය

අ. පොල් පැළ සඳහා

පොල් වගාවේ වර්ධනයට හා අස්වැන්නට අත්‍යාවශ්‍ය පෝෂකයක් වන පොටෑසියම් පෝෂකය කාබනික පොහොර වර්ගයන්හි හිඟ වේ. කාබනික වගාවේ දී පොටෑසියම් පෝෂකය ලෙස මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී - KCl) භාවිතා කරන්නේ නැත. සල්ෆේට් ඔෆ් පොටෑෂ් (එස්.ඕ.පී -K2SO4) හා පොල් ලෙලි දැනට හමුවන ප්‍රධාන කාබනික පොටෑසියම් ප්‍රභවයන් වේ.

මීට අමතරව මැග්නීසියම් ප්‍රභවය ලෙස ඩොලමයිට් (MgCO3.CaCO3) බාවිත කරන අතර පොස්පරස් ප්‍රභවය ලෙස එප්පාවල රොක් පොස්ෆේට් (Ca5(PO4)3Cl) යොදාගනී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.