Intercropping Pepper with Coconut in Sri Lanka (Piper Nigrum)

පොල් සමඟ ගම්මිරිස් අතුරු බෝග වගාව (Piper Nigrum)

පොල් වගාවක ඇති ඉඩකඩින් වැඩි ප්‍රමාණයක් නිකරුනේ අපතේ යන බව සහ එය අර්ථවත් ලෙසට යොදා ගැනීමට අතුරු බෝග වගාවේ වැදගත්කම අපි ඔබව දැනුවත් කර ඇත්තෙමු. ගම්මිරිස් බෝගය යනු තෙත් කලාපයේ පොල් වගාවන් සඳහා වඩාත් ලාභදායී අතුරු බෝගයකි. මේ මඟින් ඉඩමේ ඵලදායිතාවය ඉහළ යාම, ආදායම වැඩිවීම සහ ශ්‍රමය කාර්යක්ෂමව භාවිතා කර ගත හැකි වීම යන කරුණු ඉතා වාසි සහගත වේ. මීට අමතරව පොල් අස්වැන්නේ, කාලීනව ඇතිවන අඩු ආදායම් අවදානම පිටුදැකීමට මෙන්ම, ගම්මිරිස් සඳහා භාවිතා වන ආධාරක ශාකයේ කොළ අතු කප්පාදුකර පොල් සඳහා පොහොරක් ලෙසද භාවිතා කර ගත හැක. පොල් වගාවේ වයස අවුරුදු 15/20 සිට අවුරුදු 50 දක්වා කාලය තුළදී මෙම බහු වාර්ෂික අතුරු බෝගයක් වන ගම්මිරිස් මනාව වගා කළ හැක.

ගම්මිරිස් වගාවේ දී මූලිකවම ආධාරක භාවිතා කරන අතර ආධාරක වෙනුවට ආදේශකයක් ලෙස පොල් ගසද යොදාගත හැක. නමුත් සිටුවීම සිදු කළ යුත්තේ පොල් ගසක සිට නියමිත පරතරය පවත්වා ගෙනය. පොල් ගස ආධාරකයක් ලෙස භාවිතා කර ගැනීමේදී පොල් ගසේ අග්‍රස්ථයට ගම්මිරිස් වැල් ළඟා වීමට ඉඩ නොදිය යුතුය. මේ අනුව ගම්මිරිස් වගාව මනාව කළමනාකරණය කර, සිටුවීමෙන් පසු අවුරුදු 3නේ සිට අවුරුදු 20-30 ක පමණ කාලයක් ආදායම ගෙන දේ.


ඔබ දන්නවාද!

පොල් අක්කරයකට, ගම්මිරිස් පැළ 280 - 300ක් අතර යෙදිය හැකි බව.. වසරකට ඵලදරණ නීරෝගී එක් ගම්මිරිස් වැලකින් කිලෝ ග්‍රෑම් 1-1.5 ක් පමණ වියළි බරක් සහිත අස්වැන්නක් ලබා ගත හැකි බව..


ගම්මිරිස් වගා කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු

a.  වර්ෂාපතනය

තෙත් කලාපයේ පවතින වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1875 ඉක්මවන බොහෝ ප්‍රදේශයන්හි පවතින පොල් වගාවන්ට මෙම වගාව සුදුසු වේ. තෙත් අතරමැදි කලාපයේ පවතින, වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500 - 1875 පමණ වන ප්‍රදේශයන්හි පවතින පොල් වගාවන් සඳහා (විශේෂයෙන් ගම්මිරිස් බීජ පැළ අවධිය සඳහා) වියළි කාලයන්හිදී අතිරේක ජල සැපයුමක් අවශ්‍ය වේ.

b. පස

ගම්මිරිස් සඳහා හොඳ තෙතමනය රඳවා ගැනීමේ හැකියාවක් සහිත සාපේක්ෂ ගැඹුරු පසක් අවශ්‍ය වේ. ජලය අඩුවෙන් රඳවා ගැනීමේ හැකියාව ඇති වැලි සහිත පස සහ දුර්වල ජලාපවහනයක් සහිත ඝනකමින් යුතු මැටි සහිත පස යන දෙවර්ගයම නුසුදුසුය. කාබනික ද්‍රව්‍ය බහුල ගැඹුරු හොඳින් ජලය බැස යන ලෝම පස වඩාත් සුදුසු වේ.

බෑවුම් සහිත ඉඩම්වල, ජලය බැසයාම සිදුවන බැවින් පහත් බිම් මත ගම්මිරිස් වගාව නොකළ යුතුය. තවද එවැනි ප්‍රදේශයන්හි ඉහළ කොටස් මත ජලය නොරැඳීම ඉහළ බැවින්, එවැනි ප්‍රදේශ මඟහැරිය යුතුය. එබැවින් බෑවුම් සහිත ඉඩම්වල ගම්මිරිස් වගාව සඳහා බෑවුමේ අතරමැදි කොටස් සුදුසු වේ.

c.  හිරු එළිය

ගම්මිරිස් සඳහා ප්‍රමාණවත් හිරු එළියක් අවශ්‍ය අතර එය ලබා දීම සඳහා පොල් ගස්වල වයස අවුරුදු 15ට වැඩි විය යුතුය. කෙසේවෙතත් සුදුසු පරතරයක් ඇතිව ගම්මිරිස් සීමිත පරිමාණයකින් හෝ මෙම හිරු එළිය අඩු අවධියේදී වගා කළ හැකිය.

d. ප්‍රභේද

දේශීය ප්‍රභේද සහ වැඩි දියුණු කරන ලද, පන්නියර්-1 සහ කුචිං, නිර්දේශ කෙරේ. ශ්‍රී ලංකාවේ බහුලවම දකින්නට ලැඛෙන ප්‍රභේදය පන්නියර්-1 යි.

e.  රෝපණ ද්‍රව්‍ය සාදා ගැනීම

ගම්මිරිස් ප්‍රචාරණය කරනු ලබන්නේ දඬු කැබලි මගිනි. මේ සඳහා දඬු කැබලි ලබා ගැනීමට පෙර හොඳ මව් ශාඛ තෝරා ගැනීම වැදගත්ය.

හොඳ මව් ශාඛයක ලක්ෂණ

1. හොඳින් වර්ධනය වූ නිරෝගී ශාඛයක් වීම.

2. ප්‍රධාන ගම්මිරිස් කඳේ ගැට දෙකක් අතර දුර කෙටි වීම, පාර්ශ්වික අතු වැඩි ගණනක් තිබීම සහ එක් අත්තකින් වැඩි කරල් ගණනක් නිපදවීම.

3. කරලක දිග සෙන්ටිමීටර් 7 ට වඩා වැඩි වීම.

4. ඒකාකාරී ලෙස බිජ පිරුණු කරල් සහිත වීම.

5. රෝග සහ පලිබෝධකයින් ගෙන් තොර වීම.

6. හොඳින් මුල් හට ගැනීමේ හැකියාව.

7. අඛණ්ඩ සහ ඒකාකාරී ලෙස ඵල දැරීමේ හැකියාව.

8. මීටර් 3.5 - 4.5 උස ගම්මිරිස් වැලකින් අවම වශයෙන් වසරකදී වියලි ගම්මිරිස් කිලෝ ග්‍රෑම් 2 ක අස්වැන්නක් ලබා ගත හැකිවීම.

f.   ගම්මිරිස් වැල් - රිකිලි/ දළු

ගම්මිරිස් වැලක් ගත්විට විවිධ වර්ගයේ කොටස් හටගනී. වැලේ මුදුනින් “මුදුන් රිකිලි” හට ගනී. ප්‍රධාන කඳෙන් ප්‍රාථමික අතු ලබා ගත හැක. පහලට එල්ලා වැටෙන වැල් “ගැරඬි වැල්”ලෙස හැඳින්වෙන අතර මේවා පැළ නිෂ්පාදනයට යොදා ගැනීමට නුසුදුසු වේ.

පඳුර පාමුල සිට බිම දිගේ වර්ධනය වන වැල් “පා වැල්”ලෙසින් හැඳින්වෙන අතර තවාන් පැළ නිෂ්පාදනය සඳහා යොදා ගනී. නමුත් මෙම රිකිලි මත බැක්ටීරියා වැනි පසේ ජීවත්වන ජීවීන්ගෙන් හානි සිදුවී පැවතිය හැක.

ඉහත වර්ග අතරින් ඉතාමත් සුදුසු වර්ගය වන්නේ මුදුන් රිකිලි වන අතර එමගින් ඉතා ඉහළ දිරියකින් යුත් ගුණාත්මක පැළයක් නිපදවා ගත හැක. නමුත් එකවර මුදුන් රිකිලි විශාල ගණනක් සොයා ගැනීම තරමක් අසීරුය.

ගම්මිරිස් තවාන් කිරීම

නිවසේදී දළු පැළ කර ගැනීම ඔබ සිදු කරන්නේ නම්, හැකි සෑම විටෙකම මුදුන් රිකිලි යොදාගැනීමට උත්සාහ කරන්න.

1. සපයා ගත් රිකිලි ගැට 2ක් එක් කැපුමකට වන සේ කපා ගැනීම.

2. එක් ගැටයක පත්‍රයක් ඉතිරි කර, අනෙක් ගැටයේ පිහිටි පත්‍රය කපා දමන්න.

3. ඉන් පසු රූපයේ පරිදි පත්‍රය ඉවත්කල ගැටයෙන් විහිදී ඇති මුල් හෝ පවතින ගැටයට හානි නොවන සේ ඒ ආසන්නයෙන්ම හරස් කැපුමක් යොදන්න

4. ගම්මිරිස් පත්‍රය සහිත දළු කොටස්, ජීවානුහරණය කරගත් පස් අඩංගු පොලිතින් බදුන් මත සිටුවන්න. (පැළ සාදාගැනීමට ප්‍රොපර්ගේටරය භාවිත කරන්න)

5. මාස 2ක් පමණ කාලයකදී මෙම පැළ (පත්‍ර 3-4 සහිත) වගා භූමියේ සිටුවිය හැක.

මීට අමතරව අපනයන සහ කෘෂිකර්ම භෝග දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද තවාන් වලින් වගාකරුවන්ට රෝපණ ද්‍රව්‍ය ලබා ගත හැක.

පොල් සමඟ ගම්මිරිස් සිටුවීම

පෝෂක සහ ජලය සදහා වූ තරඟය වළක්වා ගැනීම සඳහා ගම්මිරිස් සිටුවිය යුත්තේ පොල් ගසේ සිට අවම වශයෙන් මීටර් 2.4 - 2.6 ක් (අඩි 8ක්) දුරිනි. ගම්මිරිස් පේළි නැගෙනහිර සිට බටහිර දිශාවට යොමු කළ යුතුය.

a.  ද්විත්ව පේළි රෝපණ පද්ධති ක්‍රමය

මෙම ක්‍රමයේදී පොල් පේළි දෙකකට මැදිවන සේ ගම්මිරිස් පේළි දෙකක් යොදයි. උදාහරණයක් ලෙස පොල් පේළි දෙකක් අතර සම්මත පරතරය අඩි 24ක් පමණ වේ. එවන් වගාවකදී එක් එක් පොල් ගස් පේළියට අඩි 8ක් පරතරය ඇතිව, ගම්මිරිස් පැළ සදහා වලවල් යොදනු ලබයි. රූපයේ පරිදි එක් පේළියක ගම්මිරිස් පැළ දෙකක් අතර පරතරය අඩි 8ක් වන අතර ගම්මිරිස් පේළි අතර පරතරද අඩි 8ක් වේ. මේ පද්ධතිය ආකාරයට ද්විත්ව පේළි සැකසීම වගා කළමනාකරණයේදී මහගු රුකුලක් වේ.

b. බිම් සැකසීම සහ ආරම්භ පොහොර

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ පැළ සිටුවීම වඩාත් යෝග්‍ය වේ. ගම්මිරිස් පැළ සිටුවීමට සකසා ගන්නා වල, තද පසක නම් මීටර් 0.5 x 0.5 x 0.5 පරිමාණයෙන් සැකසිය යුතු අතර වැලි සහිත ලෝම පසක මීටර් 0.3 x 0.3 x 0.3 විය යුතුය. බීජ පැළ සිටුවීමෙන් පසු සෘජු හිරු එළියෙන් ආරක්ෂා කිරීම වැදගත් වන අතර වල් පැළෑටි හෝ පොල් ලෙලි වලින් පැළය වටා පස වසුන් කළ යුතුය.

ආරම්භක පොහොර මිශ්‍රණය ලෙස,

1) ගම්මිරිස් වලේ යට තට්ටුවේ ඇතිරීමට පොල් ලෙලි තට්ටුවක්,

2) පස පිරවීමේදී, ගොම හෝ කොම්පෝස්ට් පොහොර, කිලෝග්‍රෑම් 25ක් සහ රොක් පොස්පේට්, ග්‍රෑම් 100ක් පමණ භාවිතා කළ හැක.

c.  ගම්මිරිස් සඳහා ආධාරක

ගම්මිරිස් වගාවේ ගුණාත්මක වර්ධනයක් සහ හොඳ අස්වැන්නක් සඳහා ආධාරක අවශ්‍ය වේ. කොන්ක්‍රීට් කණු හෝ සජීවී ආධාරක මේ භාවිතා කළ හැකිය. ග්ලිරිසීඩියා යනු බහුලවම සහ සිටුවීමට වඩාත් සුදුසුම ආධාරක වර්ගයකි. ගම්මිරිස් සිටුවීමට පෙර සළකුණු කරගත් භූමියේ මීටර් 3.0 - 3.5 පමණ උසකින් ද, සෙන්ටිමීටර් 2.5 ක පමණ විෂ්කම්භයක් සහිතව සහ ගම්මිරිස් පැළයේ සිට සෙන්ටිමීටර් 2 -3 ක් පමණ දුරින් ග්ලිරිසීඩියා දඬු සිටුවන්න.

ග්ලිරිසීඩියා දණ්ඩෙන් රිකිලි හටගැනීම ඇරැඹූ විට, හොඳින් වැඩෙන අංකුර දෙකක් මුදුනට ආසන්නව තබා අනෙක් සියල්ල ඉවත් කළ යුතුය. මෙම අතු සෘජුව වැඩීමට පුහුණු කර, වර්ධනය පාලනය කිරීම සඳහා වැසි සමයේදී කප්පාදු කළ යුතුය.

d. වැල් පුහුණුව

එක් ශාකයක පත්‍ර 8 හෝ 10 ක් සෑදී ඇති විට, පහළම කොටසේ පත්‍ර 3 හැර ශාඛයේ පවත්නා අනෙකුත් සියළුම පත්‍ර ඉවත් කරන්න. ඉන් සතියකට පමණ පසු, වැසි කාලයකදී, ගම්මිරිස් වැලේ පත්‍ර ඉවත් කළ කොටස කපා දමන්න. මෙය පාර්ශ්වික අංකුර 2ක් 3ක් අතර ප්‍රමාණයක් වර්ධනය දිරිමත් කරයි.

මෙම එක් එක් අංකුරයක් මඟින් පත්‍ර 8 හෝ 10 පමණ හටගත් පසු, වර්ධනය වූ එක් එක් අංකුරයේ පහළම කොටසේ පත්‍ර 3 හැර අනෙකුත් සියලුම පත්‍ර පෙර පරිදිම ඉවත් කරන්න.සතියකට පසු, සුපුරුදු පරිදි ගම්මිරිස් වැලේ පත්‍ර ඉවත් කළ කොටස කපා දමන්න. මෙය තවත් පාර්ශ්වික අංකුර වර්ධනය සහතික කරනු ඇත.

අවසානයේදි, සෑම ගම්මිරිස් වැලකම ශාඛා 7-9 ක් පමණ හටගන්නා අතර ඒවා ආධාරකයට බැඳිය යුතුය. ගම්මිරිස් වැලේ සිරස් වර්ධනය සීමා කිරීම සඳහා, වැල් මීටර් 3 ක් පමණ වර්ධනය වූ විට අග්‍රස්ථ අංකුර ඉවත් කළ යුතුය. පොළව දිගේ වැඩෙන ගම්මිරිස් ධාවක (වැල්) පොහොර යෙදීමේදී ඉවත් කළ යුතුය.

ගම්මිරිස් සඳහා පොහොර යෙදීම

පොල් වලට අමතරව ගම්මිරිස් වගාව සඳහා පොහොර යෙදීම වැදගත් වේ. ගම්මිරිස් සඳහා පහත සඳහන් කාබනික හෝ රසායනික පොහොර මිශ්‍රණයන් වසරකට දෙවරක් නිර්දේශ කර ඇත. සිටුවීමෙන් මාස 6කට හෝ අවුරුද්දකට පසු පොහොර යෙදීම සුදුසුය.

රසායනික පොහොර මිෂ්‍රණ

· යූරියා (46% - N) බර අනුව කොටස් 4

· රොක් පොස්පේට් (28% P2O5) බර අනුව කොටස් 5

· මියුරේට් ඔෆ් පොටෑෂ් (60% K2O) බර අනුව කොටස් 3

· කීසරයිට් (24% MgO) බර අනුව කොටස් 1

රසායනික පෝෂක සොයාගැනීමේ අපහසුවක් පවතීනම්, කාබනික පොහොර ලෙස වසරකට,

• ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 8-10ක්

• නැතහොත් ග්ලිඩිසීරියා කොළ කිලෝ ග්‍රෑම් 10-12 අතර යෙදිය හැක.

වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන්නා වූ කාලයන්හිදී පොහොර යෙදීම අරඹන්න. පොහොර යෙදීමේදී ශාකයේ සිට කවාකාර ලෙසට සෙන්ටිමීටර් 30 ක් දුරින් සහ පළල සෙන්ටිමීටර 5 ක් පළල වන පරිදි යොදන්න.

අස්වැන්න

නිසි ලෙස කළමනාකරණය කරන ලද ගම්මිරිස් වගාවක් මඟින්, සිටුවීමෙන් වසර 2ක් හෝ 3ක් ඇතුළත අස්වැන්න ලබගත හැක. දේශීය ගම්මිරිස් ප්‍රභේද සැලකූ විට වසරකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 750 ක් පමණ අස්වැන්නක් ලබාදේ. වසර 6-7 පමණ කල්ගතවූ පසු සම්පූර්ණ ඵලදැරීමේ අවධියට පත්වේ. මෙවිට සාමාන්‍යයෙන් එක් ගම්මිරිස් වැලකින් කිලෝ ග්‍රෑම් 1 - 1.5 අතර අස්වැන්නක් ලබාගත හැක. දළ වශයෙන් කිලෝ ග්‍රෑම් 500 -750 ක් පමණ වාර්ෂික ගම්මිරිස් අස්වැන්නක් පොල් අක්කරයක අතුරු බෝගයක් ලෙසට වගාකර ලබාගත හැක.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.