For a Sustainable TomorrowKapruka from School – Haaduwa Junior School, Naula

තිරසර හෙටක් කප්රුක පාසලෙන් - හාඩුව කණිෂ්ඨ විද්‍යාලය වෙත

අප අනාගත පරපුර තුළ පාරිසරික වගකීම පිළිබඳ හැඟීම ඇති කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ලමා ආරක්ෂණ අධිකාරිය සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, Good Hands Initiative සමඟ එක්ව සාරවත් වැඩසටහන් මාලාවක් පසුගියදා ආරම්භ කරන ලදී. පොල් වගාව කේන්ද්‍ර කරගනිමින් කප්රුක පාසලෙන් යනුවෙන් දීර්ඝකාලීනව, පරිසර වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන්නා වූ මෙම ව්‍යාපෘතිය මෙවර නාවුල ප්‍රදේශයේ දුෂ්කර පාසල් කිහිපයක් කේන්ද්‍ර කොට සිදු විණ.

නවුල ප්‍රදේශයේ ලමා ආරක්ෂණ නිළධාරීනී චාමිකා මහත්මියගේ ආරාධනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට මූලිකම අඩිතාලමක් විය. මේ අනුව ව්‍යාපෘති නිළධාරීන් එම සම්බන්ධතාව, නාවුල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සිට උඩහ හාඩුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි හාඩුව කණිෂ්ඨ විද්‍යාලය දක්වා සම්බන්ධීතාවයකට අඩිතාලම සකස්වන ලදී. 2023 නොවැම්බර් මාසයේ සිට Good Hands ව්‍යාපෘති නිළධාරීන්, රත්නසිරි විදුහල්පතිතුමිය සහ කලාප අධ්‍යාපන නිළධාරී බණ්ඩාර මහත්මා සමග සම්බන්ධීකරණයෙන් පාසලට ගැළපෙන පරිදි වගා වැඩසටහනක් ලෙස දියත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම අරඹන ලදී.

හාඩුව කණිෂ්ඨ විද්‍යාලය, නාවුල නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරකින් වන අතර ඉතා පිටිසර ගම්මානයක එය පිහිටා ඇත. අධ්‍යාපන කටයුතු සඳහා අඩුපාඩු බොහොමයකින් යුතු වූ මෙම පාසල, ඉගෙනීමට සුදුසුම පරිසරයක් ලෙස දකින ඕනෑම පුද්ගලයෙක්ට නිර්ණය කළ හැක. දුෂ්කර පාසලක වුවත් ඉතා බුද්ධිමත් නිර්මාණශීලී දූ දරුවන් පිරිසකින් යුතු වූ මෙම පාසල ගොඩනැංවීම අප සැමගේ යුතුකමකි.

2023 නොවැම්බර් මස අවසන් සතිය තුළදී, Good Hands කණ්ඩායම පාසල් පරිශ්‍රය තුළ තම ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ සියළු ශ්‍රේණි වල සියලුම සිසුන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය සහ ප්‍රතිචාර අතිමහත් විය. පළමුව පොල් වගාව කෙරෙහි අවධානය යොමු කරමින් වත්මන් කෘෂිකාර්මික අභියෝග, ඒවාට විභව විසඳුම්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සහ උපාය මාර්ග පිළිබඳව සිදු කරන ලද වැඩසටහන් ආරාධිත කථිකයන්ගේ ආමන්ත්‍රණය සමඟ ආරම්භ විය.

ආරාධිතයින්, රාජ්‍ය නිළධාරින් සහ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන්ගේ මඟපෙන්වීම යටතේ, මීළඟ අංගය වූ පොල් පැළ රෝපණය සහ ප්‍රායෝගික වැඩමුළුව ඇරැඹිණ. මෙම ප්‍රායෝගිකත්වය සඳහා වූ සැසියට සහභාගි වූ සිසු සිසුවියන්ගේ සක්‍රීය සහභාගිත්වය එදින විශේෂ විය. මෙලෙස ඉගෙනුම ඔවුන්ට ලබා දෙන්නා වූ අත්දැකීම් මගින් ශක්තිමත් කිරීම සඳහා, පොල් බීජ භාවිතයෙන්, බීජ තවානක් දරුවන්ගේ සියතින්ම අප කණ්ඩායමේ මඟ පෙන්වීම ඔස්සේ පාසල් භූමියේ ස්ථාපනය කරන ලදී. දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස පාසල් පුස්තකාලය සඳහා " Good Hands පොල් වගා අත්පොත" විදුහල්පතිතුමිය වෙත පිළිගන්වා, සහභාගි වූ සැමට බෙදා දෙන ලදී. වැඩසටහනේ අංගයක් වූ තරගකාරී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සියළු සිසුන්ගේ සිත්ගත් අංගයක් වූ අතර මේ වෙත උද්යෝගීමත්ව සහභාගි වූ මෙන්ම ජයග්‍රහණය කළ සියළු දෙනා හට පාසල් උපකරණ බෙදා හැරීමක් ද සිදු කරන ලදී. වැඩසටහන සඳහා ඔවුන්ගේ නොසැලෙන දායකත්වය සහ උනන්දුව සඳහා කෘතඥතාව පළ කිරීම සඳහා, සහභාගී වූ දෙමාපියන්ට පොල් පැළ, තිරසාර සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ කැපවීම අගයකිරීමක් ලෙස පිරිනමන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.