Let’s Nurse some coconut seeds

පොල් බීජ කිහිපයක් තවාන් යොදමු

පොල් පැළයක් තම වත්තේ සිටුවා එයින් ඵලදාව ලබා ගන්න අකමැති නොවෙන කෙනෙකු අප රටේ නොමැතිය. “කප්රුක් වවන්නෝ දිනන්නෝ” යන්නෙන් ජන වහරේ තිබෙන්නේ අපගේ කෑම වේලට, එදිනෙදා ජීවිතයට නැතිවම බැරි අරුම පුදුම ශාඛයක් බැවිනි. මේ අතරේ වවන්න හිත් ඇතිව ලතවෙන අය ඕනෑතරම්ය. හොඳ පොල් පැළයක් සොයාගැනීමට ඇති නොහැකියාව මූලිකවම මෙයට හේතුපාදක වී ඇත්තේය. වර්තමානයේ දී පොල් පැළයක් සොයා මිළට ගෙන සිටුවිය හැකි ඇත්තෝ සිටින මුත් බොහොමයක් ශ්‍රී ලාංකිකයින්ටම එය අපහසුය. කෙසේ වූවත් ඔබ මෙතරම් කාලයක් කල් මැරුව මුත් විසඳුමක් අත ළඟම ඇත!

පොල් හොඳින් හැදෙන ගහකින් පොල් ගෙඩි කිහිපයක්, තමන් සිටින ප්‍රදේශයෙන් හෝ සොයාගන්න බැරි කෙනෙකු නොමැති බව සියල්ලෝම දනිති. එලෙස සපයා ගන්නා පොල් ගෙඩියක් නිවැරදිව තවාන් කරගත හැකි නම්,මාස 5 – 6 ක් අතර ඔබට නිරෝගී පොල් පැළයක් ගෙවත්තේදීම සාදා ගැනීමට හැකියාවක් ඇත. පොල් පැළයක ක්‍රමික විකාශනය යනුවෙන් පෙර පලකරන ලද ලිපියේ, පහත දැක්වෙන කරුණු එනම්, මව් ශාඛ සහ බීජ තෝරාගැනීම යනාදී බොහෝමයක් අන්තර්ගතව ඇත.

සරු පොල් බීජ සඳහා මව් ශාඛ තෝරාගැනීම

- වසරකට පොල් ගෙඩි අවම 60ක් පමණ පලදාව

- නිරෝගී ,ශක්තිමත් සහ සෘජු කඳ

- කරටියේ අතු කෙටිව නමුත් ඒකාකාර වලයක් ලෙස හොඳින් විහිදීම තිබීම

- ගසේ කරටිය හොඳින් විහිදුණු, පොල් අතු 20/30කින් වත් සමන්විත වීම

- විවිධ වයස් මට්ටම්වල පොල් වලු ගහේ පිහිටා තිබීම

- පොල් වලු හොඳින් රඳවා ගත හැකි වන අයුරින් වැඩුණු, කෙටි සහ ශක්තිමත් පොල් අතු වලින් සමන්විත වීම

- පොල් වල්ලේ නටුව කෙටිවීම සහ ශක්තිමත්ව පැවතීම

සරු පොල් බීජ

පොල් ලෙල්ල රහිත ගෙඩියක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 700ක් පමණ වන පැසුණු ගෙඩි වීම. තවද ගසින් බිමට සෘජුව නොකඩා බාගත් ගෙඩි යෝග්‍යවේ. මයිටා වැනි රෝගවලින් තොරවීම සමඟ පොල් වතුර හොදින් සෙලවේද නිරීක්ෂණය කළ යුතුය. පොල් ගෙඩියෙන් 1/3ක් පමණ පොල් වතුර තිබීම බීජ සඳහා ඉතා සුදුසු වන අතර සාමාන්‍යයෙන් පැසී ඇති පොල් ගෙඩි තෝරා ගනී. පොල් ලෙල්ලේ තෙතමනය අධික නම් (වියළී නොමැති), එම බීජ සතියක් හෝ සති 2ක් පමණ වන තෙක්, වියළි ස්ථානයක ගොඩගසා වසුන් කර තබන්න. මෙහිදී පොල් ලෙල්ලේ ඇති තෙතමනය පහව ගොස් බීජ ප්‍රරෝහණයට සුදුසු ප්‍රශස්ත මට්ටමකට ඉබේම ලඟාවෙන අතර පොල් වතුර ප්‍රමාණයද ප්‍රරෝහණය වීමට අවශ්‍ය මට්ටමට පැමිණේ. මෙය සාම්ප්‍රදායික “පොල් තව් මැරීම” ලෙස හඳුන්වනු ලබයි.

තවාන් පාත්ති සැකසීම

බීජ 5-6 ක් සෘජුව තවාන් කිරීම සඳහා සපයාගත් සමතලා ඉඩෙහි, අඩි 1 ½ක් පමණ පළල සහ දිග අඩි 6ක් පරිදි සළකුණු කරගන්න. දිග ඔබට ඇති ඉඩ ප්‍රමාණයට සහ සපයා ගත් බීජ පොල් ප්‍රමාණය අනුව තීරණය කරන්න. පස් උදැල්ල බාවිතයෙන් හොඳින් ලිහිල් කර, අඩි 1/3ක් පමණ උස් වනසේ පුරවාගන්න. පසුව සලකුණු කරගත් ප්‍රදේශය උදැල්ල මගින් අඩියක් පමණ ගැඹුරකට කොටා පස ලිහිල් කර, රූපයේ දැක්වෙන පරිදි පොළව මට්ටමේ සිට අඩි 1/3ක් පමණ උස් වන පරිදි පස් පුරවා තවාන සාදා ගන්න. මේ සමග තවාන් සීමාව වටා සහ තවාන් 2ක් අතර පොළොව මට්ටමින් අඩි 1/4ක් පමණ ගැඹුරට වන සේ අගල් යොදන්න. අගල් මගින් වර්ශා කාලයේදී රැදෙන වැඩිපුර ජලයෙන් තවාන් ආරක්ෂා කරගැනීම බලාපොරොත්තුවයි.

බීජ පොල් තවාන් කිරීම

ඉහත අයුරින් සාදාගත් පාත්තිය තුළ ගැඹුර සෙන්ටි මීටර් 10ක් හෝ 15ක් වන සේ වලවල් සකසා ගන්න. පාත්තිය තුළ සාදා ගන්නා වලවල් අතර පරතරය (අඩි ½ක්) සෙන්ටි මීටර් 15ක් පමණ වන සේ සකස් කර පොල් බීජ, සකසා ගත් වලවල් වල බාහා පොල් ගෙඩියෙන් 1/3ක් පමණ ඉහළට පෙනෙන්නට සිටින සේ බුරුල් පස් වලින් වසන්න. විශේෂයෙන්ම තවාන් දැමීමේදී, බීජ පොල් පැතලි අතට (තිරස් අතට) තබා තවාන් කරන්න. සාම්ප්‍රදායික තවාන් දැමීමට යොදා ගන්නා පොල් ගෙඩිය වතුරහි දමා හැරෙන පැත්ත අනුව ද, තවාන් දැමීම සිදු කල හැකිය.

බීජ පොල් තවාන් වල තෙතමන සංරක්ෂණය

  • පාත්ති වසුන් කිරීම

පාත්තිවල තෙතමන සංරක්ෂණය සඳහා, පාත්තිය වසුන් කිරීම සිදු කරයි. මේ සඳහා පොල් අතු හෝ සෙන්ටි මීටර් තුනක් හතරක් වන ඝනකම් කොහුබත් තට්ටුවක් යෙදීම සිදු කරයි. කොහුබත් හෝ පොල් අතු ලබාගත නොහැකි නම් වල් පැළෑටි, පිදුරු හෝ ලී කුඩු ද යොදාගෙන තවාන් වසුන් කිරීම සිදු කළ හැක.

  • ජල සම්පාදනය

ජල සැපයුම වියළි කාලයේදී ඉතා අත්‍යවශ්‍ය වන අතර නොකඩවා වැසි නොලැබුණු කාලයකදී, දින තුනකට වරක් වත් ජලය යෙදීම ඉතා වැදගත් ය.

  • වල් පැළෑටි මර්ධනය

වල් පැළෑටි මර්ධනය තවාන් කළමනාකාරණයේදී වඩා වැදගත් කටයුත්තකි. එ බැවින්, පොල් පැළ තවානේ වර්ධනය වන වල් පැළ, සති තුනකට හෝ මාසෙකට වරක්, අතින් ගලවා මර්දනය කිරීම වඩා යෝග්‍ය වේ. වල්පැළෑටි මගින් තවානේ පොල් බීජ ප්‍රරෝහණය සඳහා ඇති ජලය උරාගන්නා නිසා, පොල් පැළ හට ගැනීමට කල් යෑම, පොල් බීජ විනාශ වීම සහ නිසි ප්‍රමිතියෙන් යුත් පොල් පැළ සාදා ගැනීමට නොහැකි වනු ඇත. තවද පොල් බීජ වලට වේයා වැනි කෘමි හානි වී විනාශ වී යාමට නොදැනුවත්ව සිදු විය හැක.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.