Follow-up on the good hands Initiative

good hands ක්‍රියාන්විතයේ පසු විපරම

good hands ක්‍රියාන්විතය මඟින් ශ්‍රී ලංකාවේ තුළ පොල් වගාව නඟා සිටුවීම සඳහා පියවර රැසක්, 2021 වසර පුරාවටම සිදු කිරීමට හැකියාව ලැබිණ. මෙහිදී මූලිකවම පොල් වගාව සඳහා උනන්දුවක් දක්වමින් අපගේ good hands ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වී සිටි සහෘදයින්
වෙසෙන ප්‍රදේශයන් රැසකදී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණ.

good hands අප හට පෙබරවාරි මාසේ සිට මැයි මාසය දක්වා, පොල් බීජ තවාන් කිරීමේ සහ පොල් පැළ රෝපණ වැඩසටහන් දාමයක් සාර්ථකව නිම කළ හැකි වූයේ ව්‍යාපෘතියේ දැක්ම සහ අරමුණු සාක්ෂාත් කරගනිමිනි. මෙම කාලය ඇතුළත සිදුකළ වැඩසටහන්හි පසු විපරමක් ලෙස සහ වගාව ආශ්‍රිතව පවතින ගැටලු සොයා බැලීම අරමුණු කොට, 2020 නොවැම්බර් මස අගභාගයේදී නිරීක්ෂණ චාරිකාවක් අපට දියත් කිරීමට හැකිවිය. මෙහිදී දන්කොටුව, කඩවත, බණ්ඩාරගම, නුගේගොඩ, පානදුර, මතුගම, මෝල්කාව සහ ඇත්කඳුර යන ප්‍රදේශවල ස්ථාන 31ක පමණ රෝපණය කළ පොල් පැළ සහ තවාන් කළ පොල් බීජ නිරීක්ෂණය කෙරිණ.

නියමු ව්‍යාපෘතිය සිදු කළ ස්ථානයන්හි පොල් පැළ ඉතා සාර්ථකව වැඩී තිබුණු අතර, ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ පිරිස් යොමු කළ ගැටලු සඳහා පිළියම් සහ පොල් වගාව නිවැරදිව කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගිකව පහදා දීමද සිදු කෙරිණි. මේ අතරතුර, පොල් ගෙඩියකින් පොල් පැළයක් සාදා ගැනීම මූලික කොට සිදු කෙරුණු අනිකුත් වැඩසටහන් සියල්ලේම පාහේ ප්‍රගතියක් නිරීක්ෂණය කළ හැකි විය. පොල් බීජ තවාන් කිරීමෙන් පසු මාස හතරක සහ පහක කාලයක් ඇවෑමෙන් මෙම නිරීක්ෂණ වැඩසටහන සිදු කිරීම තුළින්, ඒ ඒ ප්‍රදේශයන්හි සකස් කළ පොල් බීජ තවාන් තුළින් සිටුවීමට සුදුසු මට්ටමට පොල් පැළ වර්ධනය වී ඇති ආකාරය පැහැදිලිව අධ්‍යයනය කළ හැකිවිය.

මේ අතර පසේ තෙතමනය අධික භාවය සහ ඉත්තෑවන් වැනි වන සත්ත්ව හානි නිසා තවාන් දැමූ පොල් බීජ වෙත හානි සිදු වී තිබුණු අතර ඒ සඳහා නිසි උපදෙස් සහ විසදුම් ද එහිදීම අප විසින් ඔවුන් හට ලබාදුණි. ව්‍යාපෘතියේ මෙම පසුවිපරම අතරතුරදී ඒ ඒ පවුල් වෙත good hands අත් පොත ලබාදීමද සිදු කෙරුණේ,
පොල් වගාව නඟා සිටුවීමට සිදුකළ තවත් ප්‍රයත්නයක් ලෙසිනි.

2021.11.27

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.