Coconut Bud Rot

පොල් ගොබ කුණුවීමේ රෝගය

Phytophthora palmivora නම් දිලීර විශේෂය නිසා ඇතිවන මාරාන්තික රෝගයක් වන ගොබ කුණුවීම හේතුවෙන් පොල් වගාවන් දැඩි තර්ජනයකට මුහුණ දී සිටී. මෙම විනාශකාරී දිලීර විශේෂය පොල් ගස්වල වැඩෙන ස්ථානයන්ට (ගොබ කොටස්) පහර දෙන අතර, ඒවා නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකිය. ශ්‍රී ලංකාව තුළ ගොබ කුණුවීමේ රෝගය බහුලව දක්නට නොලැබුණත්, තෙත් සහ අතරමැදි කලාපවල ඉඳහිට සුළු තත්ත්වයන් ලෙස වාර්තා වී ඇත. මෙම රෝගයෙන් පොල් ශාක ආරක්ෂා කර ගැනීම සඳහා රෝග ලක්ෂණ, රෝග වැළැක්වීමේ පියවර සහ රෝග පාලන ක්‍රම අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

පාරිසරික සාධක

වයස අවුරුදු 3 ත් 45 ත් අතර පොල් ශාක විශේෂයෙන් ගොබ කුණුවීමේ රෝගයට ගොදුරු වේ. අනෙකුත් දිලීර රෝග වලට සමානව, මෙම රෝගය අධික ආර්ද්‍රතාවය සහ අඩු උෂ්ණත්වවලදී පවතින අතර, එම තත්ත්වයන් රෝග කාරක දිලීර වර්ධනයට සහ බීජාණු විසුරුවා හැරීමට ප්‍රශස්ත තත්වයන් සපයයි. අතු නොවිහිදුන පොල් පැළවල සහ පැරණි පොල් වගාවෙන් ආවරණය වී සෙවණ ලබන පොල් ශාකද මේ සඳහා විශේෂයෙන් ගොදුරු වේ. ගංවතුරට ගොදුරු වන ගංගා ඉවුරුවලද සහ අධික මෝසම් වර්ෂාපතනයක් අත්විඳින ප්‍රදේශවලද මෙම රෝගය බහුලව දක්නට ලැබේ. සාමාන්‍යයෙන්, මෙම රෝගය පොල් වගා කර ඇති ප්‍රදේශයක, තැනින් තැන ඇති ශාකවලද නිරීක්ෂණය වේ.

රෝග ලක්ෂණ

ආරම්භක අදියරේදී,

අංකුර කුණුවීමේ ආරම්භක අවධියේදී, කැපී පෙනෙන රෝග ලක්ෂණ කිහිපයක් මතු වේ. 

⦿ පොල් ගසේ ගොක් අත්තේ දීප්තිය නොමැති වී මැලවී යන අතර පසුව යාබද කොළ ක්‍රමයෙන් මැලවී යයි. 

⦿ ගොබ (අංකුර) කලාපය සමීපව නිරීක්ෂණය කිරීමෙන් එහි පත්‍රිකාවල දුර්වර්ණ වූ පැල්ලම් දක්නට ලැබේ.

⦿ මැලවී ගිය අතු දුඹුරු සහ වියළි බවට පත් වන අතර පහළ අතු නිරෝගී සහ සාමාන්‍ය කොළ පැහැයෙන් පවතී.

⦿ පුෂ්ප මංජරිය වියළීම සහ නොමේරූ පොල් ගෙඩි හැලීයාම.

රෝග උත්සන්න අදියරේදී,

⦿ රෝගය වර්ධනය වන විට, ගොක් අත්ත (ගොබය) පහසුවෙන් ගලවා දැමිය හැකි අතර අධික දුර්ගන්ධයක් හමයි.

⦿ පසුව, ගොබයට සහ යාබද අතු කිහිපයක් ගැලවී වැටෙන අතර, අනෙකුත් අතු වැගිරී, කඳට පමණක් සම්බන්ධ අතු පමණක් ඉතිරි වේ. 

රෝග පාලනය

අංකුර කුණුවීමට එරෙහිව කටයුතු කිරීම සඳහා, රෝග පාලනය සහ වැළැක්වීමේ පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය.

⦿ රෝගය උත්සන්න වූ තරුණ අවධියේ පවතින ශාක, දිලීර පාලනය සඳහා කපා පුළුස්සා දැමිය යුතුය. ආසාදිත ශාක හෝ ශාක කොටස් පුළුස්සා දැමීමෙන් දිලීර බීජාණු පැතිරීම අඩු කළ හැක.

⦿ වගාවේ පෝෂක සහ තෙතමනය නිසි ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ.

⦿ මුල් අවධියේදී රෝගය හඳුනා ගත්තේ නම්, බෝඩෝ මිශ්‍රණය හෝ තඹ අඩංගු දිලීර නාශකයක් භාවිතා කළ හැක. මේ සඳහා ඩයිතයොකාබමේට් (ග්‍රෑම් 5-6ක් වතුර ලීටරයක දියකර) හෝ මෙටලැක්සයිල් (ග්‍රෑම් 4ක් වතුර ලීටරයක දියකර) අඩංගු දිලීර නාශක භාවිතා කර ගොබ කොටස් හොඳින් තෙත් කිරීම සිදු කළ හැක.

වැළැක්වීමට...

ආසාදිත පොල් ගස් සුරැකීම අභියෝගාත්මක වන නමුත්, රෝගය පැතිරීම වැළැක්විය හැකිය. බෝඩෝ මිශ්‍රණය හෝ දිලීර නාශක ද්‍රාවණයක් යෙදීමෙන් මෙන්ම දිලීර නාශක අඩංගු පොට්ටනි භාවිතයෙන් රෝගී ගස් වටා ඇති නිරෝගී පොල් ගස් ආරක්ෂා කර ගත හැක. බෝඩෝ මිශ්‍රණයක් හෝ දිලීර නාශක මිශ්‍රණයක් භාවිතා කරන්නේ නම් නිරෝගී ගස්වල අග්‍රස්ථ අංකුර ප්‍රදේශ සති 2-3 කට වරක් හොඳින් තෙත් කිරීම අත්‍යවශ්‍ය වේ.

බෝඩෝ මිශ්‍රණය සකස් කිරීම...

අමුද්‍රව්‍ය::

⦿ පල්මානික්කම් (කොපර් සල්ෆේට්) - 200 ග්‍රෑම්

⦿ පිළිස්සූ හුණු (කැල්සියම් ඔක්සයිඩ්) - 200 ග්‍රෑම්

⦿ ජලය - ලීටර් 25

උපදෙස්::

I. තඹ සල්ෆේට් ග්‍රෑම් 200 ක් ජලය ලීටර් 5 ක එක රැයක් (පැය 12ක්) දියවෙන්නට හරින්න. (ද්‍රාවණය 01)

II.ජලය ලීටර් 20 ක පිළිස්සූ හුණු ග්‍රෑම් 200 ක් දියකර, මිශ්‍රණය පෙරා ගන්න. (ද්‍රාවණය 02)

III.පසුව ද්‍රාවණය 01, ද්‍රාවණය 02 වෙතට එක් කර, හොඳින් කලවම් කරන්න.

IV.සකස් කිරීමෙන් පසු වහාම මිශ්රණය භාවිතා කරන්න.

සටහන: බෝඩෝ මිශ්‍රණය සහ තඹ දිලීර නාශක විෂ සහිතයි. ආරක්ෂිත ආම්පන්න පැළඳගෙන ඒවා පරිස්සමින් හසුරුවන්න.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.