Control of Pests and Diseases

රෝග හා පළිබෝධ පාලනය

6.1 පළිබෝධ

I .කෘමි පළිබෝධ
II. ක්ෂීරපායි සත්ත්ව හානිය
III. ක්ෂුද්‍ර කෘමි පළිබෝධ

කෘමි පළිබෝධ

1. වේ හානිය

පොල් පැළයක මුලික ලෙසම පැළයේ ලෙල්ලටද පසුව පාදස්ථ කොටසට ද හානි සිදු කරයි. ගෙඩිය පරික්ෂා කළ විට හානිය ලෙල්ලට සිදු වූ බව පැහැදිලි කර ගත හැකි අතර ගොබය මැල වූ ස්වභාවයද මෙහි තවත් ලක්ෂණයකි.මැල වූ ගොබය අතින් ඇද්ද විට පහසුවෙන් ගැලවී එයි.

-මර්දනය-

පැළය වේ හානිය සුළුවෙන් සිදුවී ඇත්නම් වේයන් ඉවත් කළ යුතු අතර රසායනික මර්දනය සඳහා“ඉට්ඩැක්ලොප්‍රිඩ් 20%, මිලිටර් 1-2 අතර ප්‍රමාණයක් ජලය ලීටරයක දියකර සිටුවීමට පෙර පැළය විනාඩි 03ක් පමණ ගිල්වා තැබිය යුතුය.

2.ප්ලැසිස්පා හානිය

ක්ෂේත්‍රයේ අවුරුදු 05ක් දක්වා වූ පැළ සඳහා හානිකරයි. මෙහිදී දිග නොනැමුණු පත්‍ර සූරාකමින් කෘමියා ජීවත් වේ. මේවායේ දිගටි ඉරි හා ලප දිස්වන අතර පසුව දුඹුරු වී වියළී යයි.

-මර්දනය-

රසායනික මර්දනය යටතේ කාබෝසල්ෆාන් 03 මීලි ක් ජලය ලීටරයක දියකර ගොබයට කාවදින ලෙස යෙදීම තුලින් ප්‍රතිඵල ළගා කරගත හැක.

3.කළු කුරුමිණි හානිය

මෙහිදී වන්නේ ගොබයට දරුණු ලෙස හානි සිදු වූ විට ගස්වල වර්ධනය මැලවීම හා පීදීම ප්‍රමාද වීමයි. මෙහිදී ගසේ ගොබය ප්‍රදේශයට හානි සිදුකරන අතර කුඩා පැළවලට හානි සිදු වූ විට ගොබය මැරී යාම හෝ වක් වූ ගොබයක් දැකිය හැකිය.

-මර්දනය-

ඉඩමේ පවිත්‍රතාවය රැක ගත යුතු අතර කුරුමිණියා බිත්තර දමන්නේ ද ඉඩමේ ඇති කාබනික ද්‍රව්‍ය වල නිසා පොල් කොටන් , ගොම , කුණු ගොඩවල් ආදිය ඉවත් කළ යුතුය. ගොබයට ආසන්න පිති වල කපුරු බෝල දෙක බැගින් රැඳවීම හා ගොබය වටා ඇති පිතිවල දැවී තෙල් ආලේප කල යුතුය.

තවද මේ සඳහා පළාතේ පොල් සංවර්ධන නිලධාරි මගින් මිලදී ගෙන පෙරමෝන උගුල්ද රැඳවීම කළ හැක.

4.රතු කුරුමිණි හානිය

මෙය පොල් වගාවේ මාරාන්තික හානිය වන අතර අවුරුදු 3-10 දක්වා අතර ගස් මේ සඳහා ගොදුරු වේ. රතු කුරුමිණියා බිත්තර දමන්නේ කඳේ පැළුණු තැන්,කිරි මුල්,තුවාල ආදිය මතය. මෙහිදී බිත්තර වලින් පිටවන කීටයා කඳ තුලට ගොස් අභ්‍යන්තර පටක කා දැමීම නිසා ගොබය ප්‍රදේශයෙන් හෝ පාදස්ථයෙන් කඩා වැටීම සිදු වේ. පහත දැක්වෙන ලක්ෂණ ද දැකිය හැකිවේ:

* ගසේ සිදුරු ඇති වීම.
* සිදුරු අසල ඕජස් ගැලීම.
* අතු ලා කහ පාට වීම.
* ගොබය මැලවී යාම.
* කඳට කණ තැබූ විට ශබ්යදක් ඇසීම

-මර්දනය-

මර්දන සඳහා පහත දැක්වෙන ක්‍රමයන්ගෙන් එකක් යොදාගත හැක

* අවුරුදු 3-10 ත් අතර ශාක හොදින් පරික්ෂාකර තුවාල ඇත්නම් දැවි තෙල් ආලේපය.
* විශාල සිදුරු සිමෙන්ති යොදා වැසීම.
* අතු කපන විට අඩි 03ක් පමණ ඉතිරි වන සේ පිත්ත කපා දැවි තෙල් හෝ දියර තාර ආලේපය.
* ගස් මුල කුහර වැසෙන සේ පස් දමා වැසීම.
* හානි වූ ගස් මුලින් උදුරා කුඩා කොටස් වලට කපා පුළුස්සා දැමීම.

නිර්දේශිත රසායනික

I මොනොක්‍රොටපොස්

කඳ මේරුණු ගස් වලට එන්නත් කරනු ලැබේ. මිලිටර් 40ක්, කඳ යවකාරයකින් (බුරුමයකින් ) විද එන්නත් කරනු ලැබේ.

II. පෙන් කොයිට්

මිලිටර් 40 ගෙන සමාන කොටස් 3 කට බෙදා ගසේ හානි වූ ස්ථානයට අඟල් හයක් ඉහළින් සමාන උසකින් සිදුරු විද ඒවාට යෙදීම.

III. වර්ටැකෝ

මිලිටර් 250ක ජලය ග්‍රෑම් 40 දියකර අඩි 1-2 උසින් දෙපැත්තේ සිදුරු දෙකක් සාදා එක සිදුරකට 30 ml බැගින් 60 ml යෙදීම. කෘමිනාශක යෙදීමට සිරින්ජර් භාවිතා කල යුතු අතර ප්‍රතිකාර කර දින 03 කට පසු සිමෙන්ති යොදා සිදුරු වැසිය යුතුය.

මීට අමතරව පළාතේ පොල් සංවර්ධන නිලධාරී මගින් රතු කුරුමිණි පෙරමෝන උගුල් සඳහා උපදෙස් හා රසායනික මිලදී ගෙන ඒවා ක්ෂේශ්‍රය තුළ යෙදිය හැකිය.

5.මයිටා හානිය

හානියේ ස්වභාවය දෙස අවධානය යොමු කිරීමේදී කහ පාටට හුරු සුදු පැහැති ලපයක් (ත්‍රිකෝණාකාර ලපයක්)

පැමිණ එය ක්‍රම ක්‍රමයෙන් විශාල වී පසුව දුඹුරු පැහැය ගනී. මයිටා හානිය නිසා පහත දැක්වෙන කරුණු සිදුවේ;

* ගෙඩි හැලීම
* ගෙඩි කුඩා වීම

-මර්දනය-

* සල්ෆර් - පාම් තෙල් මිශ්‍රණය භාවිතා කිරීම සාදා ගන්නා අයුරු: ජලය මි.ලී. 800 කට සබන්කුඩු ග්‍රෑම් 12ක් සහ සල්ෆර් ග්‍රෑම් 5ක් දිය කර එයට පාම් තෙල් මි.ලී.200ක් මිශ්‍ර කරන්න )
* විලෝපිත මයිටාවන් යෙදීම

ක්ෂීරපායි සත්ත්ව හානිය

පොල් වගාවේ පළිබෝධ හානිය පිළිබදව සැලකීමේදී මෙම හානියද සැලකිය යුතු මට්ටමක ඇත. වගාව පැළ අවස්ථාවේ හා පල දරණ අවධියේ හානිය අධික වේ.

* වල් ඌරා
* ඌරු මීයා
* ඉත්තෑවා
* රිලවා
* වඳුරා
* අලි
* දඬු ලේනා

-මර්දනය-

* පැළ වටා බැරල් යෙදීම
* ලී සිටුවා ඉටිරෙදි ගැසීම
* පස් පිරවූ ටයර යෙදීම
* ග්ලිඩිසීරියා ලී සිටුවීම
* රතිඤ්ඤා භාවිතය

ක්ෂුද්‍ර කෘමි පළිබෝධ

1.කහ තිත් පළඟැටියා

පළිබෝධකයා පිළිබඳ විස්තර

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති කහ තිත් පළ ඟැටියා බෝගවලට හානි කරන බව පළමු වරට වාර්තා වන්නේ 1947 දී ය. ඉන්පසු වරින් වර මෙම පළඟැටියන්ගේ ගහණය අධික ලෙස ඉහළයාම් විවිධ අවස්ථාවල දී වර්තා වී ඇත. කහ තිත් පළඟැටියාගේ සුහුඹුල් ගැහැණු සතුන් පසෙහි සිදුරක් සාදා අඟල් 3-4 පමණ ගැඹුරින් බිත්තර, කැදලි ලෙස දමන අතර එක් කැදැල්ලක බිත්තර 15-60ක් පමණ ඇත. බිත්තර කැදැල්ල ආරක්ෂා කිරීම සඳහා එය වටා ඝන ශ්ලේෂ්මල ආවරණයක්ද නිර්මාණය කරයි. බොහෝ විට ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල බිත්තර දැමීම සිදු කරන අතර විශාල ශාක යට සෙවණ සහිත ස්ථාන මේ සඳහා තෝරා ගනියි. කහ තිත් පළඟැටියාගේ බිත්තර කැදලිවලින් නොමේරූ සතුන් එනම් ශිෂුවන් පිටතට පැමිණෙන අතර ඔවුන් දුඹුරු පැහැතිය. දින 1-2කින් පසුව කළු පැහැ වන අතර, ශිෂුවන්ගේ දේහය දිගේ කහ පැහැති ඉරි දැකිය හැකිය. උදරය තැඹිලි සහ කළු පැහැති වලයන්ගෙන් සමන්විතය. කහ තිත් පළඟැටියාගේ ශිෂු අවධීන් හයක් ඇති අතර ශිෂු අවධින් සමිපූර්ණ කිරීම සඳහා මාස 5-6 ක පමණ කාලයක් ගතවෙයි. කහ තිත් පළඟැටියා රංචු වශයෙන් සිටින අතර, එක් රංචුවක පළඟැටියන් 3000ක් 4000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටියි. මෙම පළඟැටියා දිගින් අඟල් එක හමාරක් පමණ වේ. වැඩුණු කහ තිත් පළඟැටියා ප්‍රමාණයෙන් අඟල් 2 ක් පමණ දිග වන අතර, හිස සහ ස්පර්ශක කළු පැහැතිය.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

පොල් ශාක පත්‍ර කා දමයි.

-මර්දනය-

⦿ මෙම පළඟැටියා පාලනය සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍ය වන අතර පළිබෝධකයාගේ පැමිණීම් පිළිබඳ අවධානයෙන් ප සුවීම ඉතා වැදගත්ය. ඔක්තොම්බර් හා නොවැම්බර් මාසවල විශාල ශාක යට සෙවණ සහිත ස්ථානවල බිත්තර දැමීමට පැමිණෙන වැඩුණු සතුන් එකතු කර විනාශ කිරීම සිදු කළ යුතුය. මෙම අවස්ථාවේ සුහුඹුල් සතුන් එතරම් ක්‍රියාකාරී නොවන බැවින් අතින් එකතු කිරීම කළ හැකිය.

⦿ සතුන් බිත්තර දමා ඇතැයි සැක කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල පස පෙරලීමෙන් බිත්තර කැදලි හිරු එළියට නිරාවරණය කිරීම තුළින්ද, එම කැදලි කුරුල්ලන්(විශේෂයෙන් - මයිනා), කුහුඹුවන් වැනි සතුන්ට ආහාරයට ගැනීමට සැලැස්වීම තුළින්ද විනාශ කළ හැකිය.

⦿ සතුන් බිත්තර දමා ඇතැයි සැක කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල පස පෙරලීමෙන් බිත්තර කැදලි හිරු එළියට නිරාවරණය කිරීම තුළින්ද,එම කැදලි කුරුල්ලන්(විශේෂයෙන් - මයිනා), කුහුඹුවන් වැනි සතුන්ට ආහාරයට ගැනීමට සැලැස්වීම තුළින්ද විනාශ කළ හැකිය.

⦿ බාල්දියකට ජලය ලීටර් 2 ක් පමණ දමා එයට භූමිතෙල් මිලි ලීටර් 10 ක් සහ සබන් ග්‍රෑම් 10ක් පමණ දමා මිශ්‍ර කර එයට සතුන් අතින් අහුලා එකතු කිරීම සිදුකළ හැකිය. උදය කාලයේ දී පරිසර උෂ්ණත්වය අඩු බැවින් ශිෂුව වන්ගේ ක්‍රියාකාරීත්වය අඩුවේ. එබැවින් අතින් එකතු කිරීම උදෑසන සිදු කිරීම යෝග්‍ය වේ.

2. කොරපොතු කෘමියා

පළිබෝධකයා පිළිබඳ විස්තර

කොරපොතු කෘමියා ශ්‍රී ලංකාවේ පොල් වගාකරන සෑම ප්‍රදේශයකම ඇති පොල් කොළ වලට හානි පමුණුවන කෘමි විශේෂයකි. වියළි කාලය ඔවුන් බෝවීමට හිතකර බැවින් , මෙම කෘමියාගේ වසංගත තත්ත්වයන් දිගු නියං කාලවලදී නිතර දැකිය හැකිය. සාමාන්‍යයෙන් වැසි කාලය එළඹීමත් සමඟ මොවුන්ගේ ගහනය අඩු වේ. අත් කාචයකින් බැලූ විට පොල් කොළයේ යටි පැත්තේ යුෂ උරා බොමින් සිටින මෙම කෘමීන් හඳුනාගන හැක. විනිවිද පෙනෙන ආවරණයකින් වට වූ, මැද කහ වර්ණයෙන් යුක්ත වූ මෙම කෘමීන් , කලවම් නොකර බැදගත් බිත්තරයක් ආකාරයෙන් දිස් වේ.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

උවදුරට භාජනය වී ඇති පොල් ගස් එහි පොල් කොළවල ඇති කුඩා කහ පාට පැල්ලම් වලින් පහසුවෙන් හඳුනා ගත හැක. මෙම පොල් කොළ වල යටි පැත්ත පරීක්ෂා කිරීමේ දී සුදු කහ පැහැති කොරපොතු කෘමීන් දැකගත හැක. කොළයේ එම ප්‍රදේශ නියපොත්තෙන් පිරිමැද්ද විට ජීවී කෘමීන්ඇ ත්නම් දියර සහිත තෙත් ගතියක් ද, කොරපොතු කෘමීන් මැරී ඇත්නම් වියළි කුඩු ස්වභාවයක් ද දැනෙන අතර, කොරපොතු පටල ගැලවී නියපොත්තේ අග එකතු වේ. කෘමීන්ගේ ගහනය අධික වූ අවස්ථාවන්හිදී පොල් අත්ත සම්පූර්ණයෙන් ම කහ ගැන්වී වියළී යයි.මෙම අවස්ථාවේ දී කොරපොතු කෘමීන්ට පොල්මල්වලට හා කුඩා ගෙඩි වලටද හානි සිදුකළ හැක. පැළ වලට හානි සිදු වූ විට වර්ධනය බාල විය හැක.

-මර්දනය-

⦿ ශෂ්‍ය විද්‍යායාත්මක ක්‍රම - උවදුර අතු කීපයක පමණක් දක්නට ලැබුනොත්, එම අතු කපා පුළුස්සා දමා මුල් අවස්ථාවේදීම මර්දනය කළ හැක. එසේම පැළ වල හානිය දක්නට ලැබුනොත් එම පත්‍ර කොටස් කපා දැමීමෙන් හෝ අතින් පොඩි කර කෘමීන් විනාශ කර දැමිය හැක.

⦿ ජෛව පාලනය - මෙම කෘමීන් මර්දනය කිරීමට සමත් ස්වභාවික සතුරෙකු වන්නේ ලේඩි බර්ඞ් නම් කෘමියකි. එනම් කළු පැහැති රවුම් හැඩති, ප්‍රමාණයෙන් ගමිමිරිස් ඇටයක් තරම් වූ “කයිලෛකෝරස්නිගීටස් ” නැමැති කෘමියා සහ එම කෘමියාට වඩා මඳක් කුඩා, රවුම් හැඩැති දුඹුරු පැහැති “පලස්සිරම්පිලිනස් ” නම් කුරුමිණියාගේ කීටයන් සුදු පැහැති වන අතර ශරීරය මත ඇඟිලි වැනි ප්‍රසර දැකිය හැක. මෙම දෙවර්ගය ඉතා ගිජු භක්ෂකයෝ වන බැවින් කොරපොතු කෘමි උවදුරු ඉතා සාරථකව මැඩලීමට සමත්වී ඇත.

⦿ රසායනික ක්‍රම - රසායනික ද්‍රවය යොදා මෙම උවදුර මර්දනය කිරීම පිළිබඳව සළකා බැලිය යුත්තේ ජෛව පාලන ක්‍රම මඟින් උවදුර මර්දනය නොවුනහොත් පමණි. එබැවින් ඔබගේ වගාවේ මෙම උවදුර ඇත්නම් රසායනික මර්දනය කෙරෙහි යොමු වීමට පෙර ඔබ ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරිතුමාගෙන් උපදෙස් ලබා ගත යුතුය. පොල් පැළ සඳහා ඩයිමෙතොලේට් 40% හෝ ක්ලෝපයිරොෆෝස් 40% ද්‍රාවණයෙන් මිලි ලීටර් 20-40 ක්වතුර ලීටර් 10 ක දියකර නැප්සැක් ඉසිනයක් මඟින් ඉසීම කලයුතුය. වැඩුණු ගස් සඳහා 60% මොනක්‍රොටපොස් මිලි ලීටර් 8ක් කඳට විද එන්නත් කිරීම කළ හැක.

3. කුසීත දළඹුවා

පළිබෝධකයා පිළිබඳ විස්තර

ලංකාවේ පොල් වගාවේ දී වැඩි අවධානයට යොමු නොවූ වියළි කලාපවල දී ඉතා දරුණු ලෙස පොල් කොළවලට හානි පමුණුවන පලිබෝධකයෙක් ලෙස මෙම දළඹු විශේෂය පිළිබඳ ව වාර්තා වී ඇත.තවාන් මට්ටමේ සිට වැඩුණු ගස් දක්වා මෙම පළිබෝධකයාගේ හානියට ගොදුරු විය හැක. මොවුන්ගේ වැඩුණු අවස්ථාව පියාපත් සහිත සලබයෙකි. හිස දෙපස ළා කොළ පැහැ වන අතර, පියාපත් රතු දුඹුරු පැහැයෙන් යුක්තය.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

පොල්කොළ යට පැත්තේ තද දුඹුරු පැහැති පැල්ලම් ලෙස දකින්නට පුළුවනි. ක්‍රමයෙන් දළඹුවන් වැඩෙන විට ඉරටු පමණක් ඉතිරි වන ලෙස පොල්කොළ සියල්ලම විනාශ කරති. මොවුන් වඩා ප්‍රිය කරන්නේ හොඳින් මේරූ අතු වලට නිසා පහත මාලය අතු වල සිට ක්‍රමයෙන් ඉහලට හානිය පැතිරෙන ස්වභාවයක් ඇත

-මර්දනය-

⦿ හානිය ගස් 50 ක් හෝ ඊට අඩු මට්ටමක පවතින විට හඳුනාගත හොත්, කෙකි යොදා පහත මහලේ අතු කපා පුළුස්සා දැමිය හැක.

⦿ ස්වභාවික සතුරකු ලෙස ” ඇපන්ටාලිස් පරාසේ”නම් පරපෝෂිතයා යොදා ගනී. කාලගුණික තත්ත්වය අනුව පරපෝෂිතයාගේ ක්‍රියාකලාපය තීරණය වේ. මේ පිළිබඳ පොල් සංවර්ධන නිලධාරි මහතාගෙන් උපදෙස් ලබාගත යුතුය

⦿ පරපෝෂීතයාගේ ක්‍රියාකලාපය නිසි පරිදි සිදු නොවන අවස්ථාවලදී පමණක් කෘමිනාශක යෙදීම නිර්දේශ කර ඇත. මොනක්‍රොටපොස් 60% , මි.ලි. 8ක් කඳට විද එන්නත් කරයි.

4. එළි මිනිස් දළඹුවා

පළිබෝධකයා පිළිබඳ විස්තර

මෙම දළඹුවා තවාන් පැළ හා පොල් පැළ වලට හානි කරයි.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

⦿ කුඩා පත්‍ර කතුරකින් කැපූ ආකාරයට කා දමා තිබීම.

-මර්දනය-

⦿ දළබුවන් අතින් එකතු කර විනාශ කීරීම හෝ කාබොසල්ෆාන් මිලි ලීටර් 3ක් ජලය ලීටර් 1ක දියකර ඉසීම

6.2 රෝග

i.ගොබ කුණු වීම
ii.කඳින් ඕජස් ගැලීම
iii. කොළ කුණු වීම සහ කොළ මැලවීම

1. කඳින් ඕජස් ගැලීම

රෝගය පිළිබඳ විස්තර

කඳින් ඕජස් ගැලීම පොල් ගස්වල සුලභව දක්නට ලැබෙන නමුත් “සෙරටෝසිස්ට්ස් පැරඩොක්සා” නමැති දීලීරය ආසාදනය නිසා සිදුවුවහොත් මෙම රෝගය මර්දනය කිරීමට ප්‍රතිකාර කළ යුතුය.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

⦿ කඳේ පොත්තේ දික් අතට පිපිරුණු තැන් වලින් රතු-දුඹුරු හෝ මලකඩ පැහැ ඕීජසක් ගැලීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වේ.

⦿ ඕජස් ගලන ස්ථාන ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරී අවසානයේ කළු පැහැයක් ගනි. ඕජස් ගලන ස්ථාන වල පොත්තට යටින් ඇති පටක කහ පැහැයට හැරී පසුව දුඹුරු පැහැ වී කුණු වී යයි. අවසානයේ එම ප්‍රදේශයේ කෙඳි පමණක් ඉතිරී වන සේ දිරා යයි. ඕජස් ගලන ස්ථාන කීපයක් එකට ප්‍රදේශයේ කෙඳි පමණක් ඉතිරී වන සේ දිරා යයි.ඕජස් ගලන ස්ථාන කීපයක් එකට සම්බන්ධ වී ඕජස් ගලන විශාල ප්‍රදේශ ඇතිවේ. කල්ගත වීමේදී ඕජස් ගැලිම නවතින අතර ඕජස් උකුවී මැලියම් මෙන් කැටි ගැසේ.

⦿ කඳින් ඕජස් ගැලීම “ගැනොඩර්මා” නම් දිලීරය ආසාදනය වූ ගස් වලද දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි.ගැනෝඩර්මා දිලීරය ආසාදිත ගස් ලංකාවේ දක්නට ඇත්තේ ඉතා කලාකුරකින් වන අතර එම ගස් වල කඳේ බිම් මට්ටමින් හතු ඇතිවීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයකි.

⦿ ගිනිමැල ගැසීමෙන් , අකුණු සැර වැදීමෙන් ද, රතු කුරුමිණි උවදුරින් හානි වූ ගස් වලද, අධික ලෙස රසායනික පොහොර යෙදීමෙන්ද, ජල ගැලීමෙන් සහ නිතර ජල මට්ටම වෙනස් වන ස්ථාන වලද කඳින් ඕජස් ගැලීම සිදුවිය හැකිය. ගිනිමැල ගැසීමෙන් හා අකුණු සැර වැදීමෙන් වන හඳුනා ගැනීම පහසුය.

ප්‍රතිකර්ම

⦿ පොල් ගසේ කඳේ රෝගී කහ පැහැති කොටස් මුවහත් පිහියකින් , නියනකින් හෝ වඩාත් පහසුවෙන් අත් වෑයකින් කපා ඉවත් කළ යුතුය. නිරෝගී ලා රත් පැහැති පටකය මතු වන තෙක් රෝගී පටක ඉවත් කිරීම වැදගත් වේ. එසේ ඉවත් කළ රෝගී කොටස් එකතු කර පුළුස්සා දැමිය යුතුය. එසේ කපා සුද්ද කරගත් තුවාල මත “බෝඩෝ මිශ්‍රණ”ය හෝ තඹ අඩංගු දිලීර නාශකයක් ආලේප කළයුතුය. තඹ අඩංගු දිලීර නාශකයක් භාවිතා කරන්නේ නම් ලේබලයේ ඇති පරිදි නිර්දේශිත ප්‍රමාණය යොදන්න, ඉන් පසුව දින කිපයක් වේලීමට හැර නැවත බෝඩෝ මිශ්‍රණය ආලේප කළ යුතුය. දින 10 ක් පමණ ගත වූ පසු රෝගය අනිකුන් කොටස් වලට පැතිරීම හෝ ඕජස් ගැලීිම දක්නට නොමැති නම් තුවාල මත දිය තාර ආලේප කළ යුතුය.පොල්ව ගාකරුවන්ට බෝඩෝ මිශ්‍රණය සකස් කර ගැනීම අපහසු නම් ඕජස් ගලන රෝගී කොටස් කපා සුද්ද කර වහා දිය තාර ආලේප කළ හැක.
.

⦿ ඕජස් ගැලීම විශාල වශයෙන් සිදු වී කඳේ විශාල කොටසක් හානි වූ විට හානියට භාජනය වූ පටක සියල්ලක්ම හැකි තරම් නිරෝගී පටක දක්වා කපා සුද්ද කිරීමට සෑම ප්‍රයත්නයක්ම යෙදිය යුතුය. එවැනි අවස්ථා වලදී වේයන් බෝ වීම දෙවනුව සිදු වේ. එවිට ඔවුන් මර්දනය සඳහා කෘමිනාශකයක් යෙදීම හෝ ආලේප කිරීම, දිලීර නාශක යෙදීමත් සමග කළ යුතුය.

2. කොළ කුණු විම සහ කොළ මැලවීම

රෝගය පිළිබඳ විස්තර

වැලිගම කොළ මැලවීමේ හා කුණුවීමේ රෝගය 2000 වසරේ දී දකුණු පළාතෙන් හඳුනා ගැනුන අතර, මේ වන විට එය මාතර දිස්ත්‍රික්කයේ පුරාම හා ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණනාවක දැකිය හැක. වැලිගම ප්‍රදේශයේ පොල් වගාව තුළ ඇති වූ මේ රෝගය සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බවත්, “ෆයිතොප්ලාස්මා” නැමැති රෝගකාරකයෙකු නිසා ඇතිවී තිබෙන බවත් සොයාගෙන ඇත. 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත යටතේ නිකුත් කළ 2008 මාර්තු 24 දින සහ අංක 1542/7 දරණ ගැසට් නිවේදනය මගින් වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය වසංගත රෝගයක් හැටියට ප්‍රකාශයට පත් කර ඇත. වෙනත් ප්‍රදේශවලට මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා, රෝගයෙන් තොර දේශ සීමාවක් ප්‍රකාශයට පත් කර ඇත.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

⦿ ගොක් අත්තේ කොළ වල ජලයෙන් පෙඟුණ සේ දුඹුරු පුල්ලි ඇති වීම

⦿ කුණු වූ ගොබයේ පත්‍රිකා ඇලී තිබීම

⦿ කුණු වූ පිති කළු පැහැවී බිලීපිති ආකාරයට දිස් වීම

⦿ කුණු නොවූ පත්‍රිකා කොළ පැහැයෙන් යුතු අතර

⦿ අග්ගීසි කළු පැහැ වී හැකිලී තිබීම

⦿ කරටිය කුඩා වීම සහ කඳ සිහින් වීම

යනාදිය පොල් කොළ කුණු වීමේ රෝග ලක්ෂණ ලෙස හඳුනා ගත හැකිය.

⦿ පත්‍රිකා පැතලි වීම හා ඉළ ඇට මෙන් වක් වීම

⦿ පහත මාලයේ අතු කහවීම

⦿ කලාතුරකින් මැද මාලයේ අතු කහවීම

⦿ කහ පැහැ වූ පත්‍රිකාවල දාරය වියළී යාම

වැලිගම පොල් කොළ මැලවීමේ රෝග ලක්ෂණ වෙයි.

ප්‍රතිකර්ම

⦿ ටෙබ්යුකොනසොල් - පොලිකර් / ඔරයිස්, හෙක්සකොනසොල් - ශක්ති / කන්ටැප් නිර්දේශිත දිලීර නාශක වෙයි.පොලිකර්/ඔරයිස් මිලි ලීටර් 10 ක් ජලය ලීටර් 1 කට දිය කළ යුතුයි. ශක්ති/කන්ටැප් මිලි ලීටර් 10ක් ජලය ලීටර් 1 කට දිය කරන්න.දිලීර නාශක ද්‍රාවණය සෑදීම සඳහා ප්ලාස්ටික් භාජන භාවිත කළ යුතුය.ගසේ කරටියට නැග ගොක් අත්තේ කුණුවීමට ලක්ව ඇති කොටස් කපා ඉවත් කළ යුතුය. ගොබය ආසන්යේම ඇති අතු 3 - 4 ක් ද, කුණුවීමට ලක්වි ඇති පත්‍ර කොටස් ද කපා ඉවත් කරන්න. සාදාගත් දිලීර නාශක ද්‍රාවණයෙන් ලීටරයක පමණ ප්‍රමාණයක් ගොබය තුළට වත්කරන්න. කපා ඉවත් කරන ලද කුණු වූ කොටස් පුළුස්සා දමන්න. පසු අවස්ථාවල දීලීර නාශක යෙදීමේ දී කුණු වූ පත්‍ර කොටස් කපා ඉවත් කිරීම අවශ්‍ය නොවේ, නමුත් දිලීර නාශක යෙදීමේ දී අලුතින් හටගත් ගොබයේ පත්‍ර මදක් මෑත්කර එය හොඳින් තෙමෙන පරිදි වත් කරන්න. මාස 3 - 4 කට වරක් (වැසි කාලය හැර) නොකඩවා යෙදීම අවශ්‍ය වෙයි. දිලීර නාශක යොදන ආකාරය පිළිබඳව ද මනා වැටහීමක් තිබිම සැළකිය යුතුයි.

3. ගොබ කුණු වීම

රෝගය පිළිබඳ විස්තර

රෝග කාරකයා වන්නේ පයිටොප්තෙරා පාම්වෝරා දිලීරයයි.

උවදුරේ ස්වභාවය සහ එය හඳුනා ගැනීම

⦿ වයස අවුරුදු පහට අඩු වගාවේ රොගී තත්ත්වය බහුල ලෙස සොයාගෙන ඇති පළමු රෝග ලක්ෂණය වන්නේ ගොක් අත්තේ පැහැය අඩුවී මැලවී යාමයි . පසුව ගොක් අත්ත දුඹුරු පැහැ වී මැලවී යයි.

⦿ ආසාදිත ගොක් අත්ත ඇද්ද විට පහසුවෙන් ගැලවේ. තවද එයින් ඉතා තද දුර්ගන්ධයක් නිකුත් වේ.

⦿ ගොක් අත්තට ආසන්නයේ ඇති නිරෝගී අතු මුලින් කොළ පැහැයෙන් තිබුනද පසුව ඒවා එකිනෙක වියළී යයි. අවසානයේදී ගොබය හා වියළි අතු කිහිපයක් සමග මැළවී වැටේ.

ප්‍රතිකර්ම

මූලික අවස්ථාවේදී එනම් ගොක් අත්ත මලානික වීම හඳුනාගත් විට නිර්දේශිත ප්‍රතිකාර කිරීම මගින් රෝග මර්දනය කළ හැක.

⦿ රෝගී ගස් වල ආසාදිත ගොබ කොටස කපා දමා එයට 1% තඹ අඩංගු දිලීර නාශකයක් හෝ “මෙටැලැක්සිකල්” අඩංගු දිලීර නාශක ද්‍රාවණයේන් ග්‍රෑම් 4 ක් ජලය ලීටර් 1 ක දියකර සතියකට දෙවරක් ගොබය හොඳින් තෙමීම කලයුතුය.මගින් රෝග මර්දනය කළ හැක.

⦿ රෝගී ගස් අවට ඇති ගස් බේරාගැනීම සඳහා ඒවායේ ගොබය තෙමෙන ලෙස “ඩයිත්යෝකාබමේට්” දිලීර නාශකයෙන් ග්‍රෑම් 6ක් හෝ මෙටැලැක්සිකල් ග්‍රෑම් 4ක් ජලය ලීටර් 1ක දියකර සාදාගත් ද්‍රාවණයන් ගොබය හොදින් තෙමෙන සේ සති 3කට වරක් වැසිකාලයේදී යෙදීම කලයුතුය.

⦿ තවද වගාවන්හි නිසි ලෙස පෝෂක කළමනාකරණය මගින් ද ශාකවල පැවැත්ම වැඩි කර ගත හැක. එමඟින් රෝග වැළඳීම යම්තාක් දුරට වළක්වා ගත හැක. මේ සඳහා වගාවට සමතුලිත පොහොර මිශ්‍රණයක් යොදා ගැනීම වැදගත්ය.

සැලකිය යුතුය: රෝගයට තදින් පාත්‍ර වූ ගස් බේරාගත නොහැකි වේ. මේවා පුළුස්සා දැමීම ඉතාමත් වැදගත්ය. එමගින් නිරෝගී ගස් වලට රෝග බීජාණු පැතිරීම වැළැක්වීම හා තවදුරටත් රෝගී ගස් වල ඇති බීජාණු ගුණනය වීම වළක්වා ගත හැකිය.