රතු පොල් කුරුමිණියා වයස අවුරුදු 3-10 ත් අතර වන පොල් ගස් සඳහා මාරාන්තික හානියක් සිදු කරන කෘමියෙකු වේ. වැඩුණු අවස්ථාවේ සිටින ගැහැණු කුරුමිණියන් පොල් ගසට ඇතුළු විය හැකි පහත සඳහන් කර ඇති ස්ථාන මත බිත්තර දමයි.

• පොල් පිති සහ කපා දමා ඇති පොල් පිති, 

• ගසේ පාදස්ථයේ පැලුම්,

• කිරි මුල් වර්ධනය වීමෙදී එම ස්ථානයන්හී ඇති පැලුම්, 

• ගසට ජලය යෙදීමෙදී ගස මුල පස පෑදීම නිසා ඇති වන කුහර, 

• වර්ධනයට නිසා කඳෙහි ඇති වන පැලුම්,

• වගාව කළමනාකරණයේදී පොල් ගසට සිදුවන තුවාල, 

බිත්තර තුළින් පිටවන කීට අවස්ථාවේ සිටින රතු කුරුමිණියන් කඳ තුළට ගොස් අභ්‍යන්තර පටක කා දැමීම නිසා ගොබය ප්‍රදේශයෙන් හෝ කඳේ පාදස්ථයෙන් ගස කඩා වැටීම සහ ගස විනාශ වීම සිදුවේ.

හානි කළමනාකරණයේදී ලබා දී ඇති නිර්දේශිත ක්‍රම අතර පෙරමෝන උගුල යොදා කෘමි ගහනය අඩු කිරීම එක් නිර්දේශිත ක්‍රමයකි. මෙම ක්‍රමය අනෙකුත් නිර්දේශිත ක්‍රම සමඟ හෝ ඒවා අනුගමය කළ පසුව බාවිතා කිරීම යෝග්‍යවේ.

රතු කුරුමිණියන් තදින්ම ආකර්ෂණය වන ගන්ධයන් දෙකක් ලෙස, පොල් ගස හානියට පත්වීම නිසා ගසෙන් පිටවන වාෂ්පශීලී ද්‍රව්‍යයක් සහ ගැහැණු හා පිරිමි කෘමීන් ඒකරාශී කර ගැනීම සඳහා පිරිමි රතු කුරුමිණියන් විසින් නිපදවන ඒකරාශී පෙරමෝන හඳුනා ගත හැක. 

4 මෙතිල් 5 නැනෝල් අඩංගු මෙම පෙරමෝන විද්‍යාගාර තුළ සංශ්ලේෂණය කර කුඩා නළ වල බහා තැබීම සිදු කරයි. මෙම පෙරමෝන මෙහි දැක්වෙන විශේෂිත උගුලක රැඳවිය යුතු අතර එමගින් කෘමීන් උගුල් ගත කර විනාශ කිරීමක් සිදු කළ හැක.

උගුලක අන්තර්ගත කොටස් හා එහි ඇති වැදගත්කම

• ලිටර් 5ක ධාරිතාවයෙන් යුතු, පියන සහිත රතු හෝ නිල් වර්ණ ප්ලාස්ටික් බාල්දියක් සපයාගත යුතුය.

• බාල්දියේ පියන රූපයේ පරිදි අධාරක දෙකක් යොදා ගෙන බාල්දියට අඟල් 03ක් පමණ ඉහළින් සිටින ලෙස සකස්කර ගත යුතුය.

• වැඩි ජලය උතුරා යාම සඳහා බාල්දියේ මැදට වන්නට කුඩා සිදුරක් විඳ ගත යුතුය.

• පසුව සබන් හා ජලය මිශ්‍රණයක් සදා ගෙන බාල්දියේ සකස් කරගත් සිදුර තෙක් පිරවිය යුතුය.

• ඉන් අනතුරුව මිලිමීටර් 75ක් පමණ වන කෝප්පයක් සපයාගෙන රා හෝ යීස්ට් සීනි මිශ්‍රණකින් පුරවා බාල්දියේ ඇතුළට වන්නට රැඳවීම සිදු කළ යුතුය. රා හෝ යීස්ට් සීනි මිශ්‍රණය නිසා කෘමි ආකර්ෂණය වැඩි වීම සිදුවේ.

• කෘමි ආකර්ෂණය සඳහා ඇති රසායනිකය නළවල බාහා ඇත. මෙම විද්‍යාගාර වලින් ලබාගන්නා පෙරමෝන නළයේ, සීල් කර ඇති කෙළවරෙන්, කුඩා කොටසක් කඩා විවෘත කර පෙරමෝන නළය රැඳවීමට සවිකර ඇති කොටසේ තබා කම්බි කෑල්ලක් ආධාරයෙන් රඳවන්න.

උගුල ක්ෂේත්‍රයේ තැබිමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

• පෙරමෝන උගුල් තැබීම කළ යුත්තේ රතු කුරුමිණි හානි පාලනය සඳහා අනිකුත් නිර්දේශිත ක්‍රම යොදා අවසන් වූ පසුව පමණි.

ඒවා නම්,

– තුවාල මත දැවි තෙල් හෝ දියර තාර ආලේප කර තුවාල වසා දැමීම, (අතු කැපීමෙදි අඩි 3ක් පමණ ඉදිරි වන සේ කපා, පිත්තේ කැපුම් තලයේ දැවිතෙල් හෝ දියර තාර ආලේප කිරීම.

– හානි වූ ගස් කපා පුළුස්සා දැමීම.

– කෘමිනාශක එන්නත් කිරීම.

– ගසේ මුල කුහර වැසෙන සේ පස් දමා වැසීම.

– සිමෙන්ති යොදා විශාල සිදුරු වැසීම.

• උගුල් රැඳවිම සිදු කළ යුත්තේ ලී ආධාරකයක හෝ පොල් හැර වෙනත් ගසකය.

• වගාවට මඳක් ඈතින් හිස් ස්ථානයක හෝ වැට මායිමක උගුල් තැබීම වඩාත් යෝග්‍ය වේ.

• සතියකට වරක් උගුල් ගත වූ කෘමීන් ඉවත් කළ යුතු අතර සබන් වතුර මිශ්‍රණය හා කෝප්පයේ ඇති රා හෝ යිස්ට්-සීනි මිශ්‍රණය මාරු කළ යුතුය.

• හානි තිව්‍රතාවය අනූව මාස 03 කට වරක් උගුලේ ඇති පෙරමෝන ඉවත් කර අලුත් පෙරමෝන අදාළ ස්ථානයේ රැඳවිය යුතුය.

• රතු කුරුමිණි පෙරමෝන භාවිතයේ දී කෘමීන් උගුල් ගත වී, කෘමි ගහනය අඩු වීම නිසා පොල් ගස් වලට වන කුරුමිණි හානිය අඩු විමක් දැකගත හැක.

සාර්ථක ප්‍රථීඵලයක් ලබා ගැනීමට, හානිය ඇති ස්ථානවල පෙරමෝන උගුල් රැඳවීමට පෙර ප්‍රදේශයේ පොල් සංවර්ධන නිළධාරිතුමාගෙන් හෝ ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති අයෙකුගෙන් උපදෙස් ලබා ගැනිම වඩා වැදගත් වේ.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.