Parasites for Coconut whitefly control.(Encarcia guadeloupae)

සුදු මැස්සා මර්ධනයට පරපෝෂිතයන්... (එන්කාර්සියා ගවුඩලෝපි)

ජිව විද්‍යාත්මකව පළිබෝධ පාලනයේදී ස්වාභාවික ක්‍රමවේද ලෙස පරපෝෂීතාවය සහ විලෝපීයතාවය බෙහෙවින් යොදා ගනී. මෙම මර්ධන ක්‍රම, පොල් ආශ්‍රිතව වර්තමානයේදී පැතිර යන්නාවූ සුදු මැස්සාගේ හානිය වෙත යොදා ගැනීම පිළිබඳ පර්යේෂකයන් යොමු වූයේ වසංගත තත්ත්වයක් ලෙස වර්ධනය වී දරුණු හානියක් පැමිණිය හැකිවූ පසුබිමකදීය. මෙම වසංගතය පාලනය සඳහා පරපෝෂිතයන් කිහිප දෙනෙකු සිටින බව විදෙස් රටවල් විසින් සහ අප අසල්වැසි ඉන්දියාව විසින් පවා පලකර ඇති පර්යේෂණ වාර්තා හරහා නිරූපණය වී ඇත.


මේ අයුරින් පොල් වගාවට පමණක් නොව එළවළු වගාවන්ටද එනම් බණ්ඩක්කා, බෝංචි, අර්තාපල්, තක්කාලි, වම්බටු සහ මිරිස් වැනි වගාවන් සඳහා ද බහුල වශයෙන් විවිධ කාණ්ඩයන්ට අයත් වෙනත් සුදු මැසි විශේෂ හානි පමුණුවයි.


මෑතක දී පොල් වගාවට සහ යටි වගාවන් වෙත දැඩි හානි කිරීමට සමත් “ඇලියුරොඩිකස් කොකොඉස්” නම් වූ පොල් ආශ්‍රිතව වෙසෙන සුදු මැස්සා, මර්ධනය වර්තමානයේදී අත්‍යවශ්‍යම වී ඇත. මේ සඳහා අප පෙර දැනුවත් කරනු ලැබූ, දුම් ගැසීම (කොහොඹ අතු, මදුරුතලා කොළ, කැප්පෙටියා කොළ සහ පරණ ටයර් ආධාරයෙන්...), සුදු මැසි උගුල් ස්ථාපනය, ඉසිනයන් ලෙසට; සබන් දියර, කොහොඹ තෙල්-සබන් මිෂ්‍රණ හෝ තයෝමෙතොක්සාම් වැනි රසායනික යෙදීම සහ තවත් සාම්ප්‍රදායික ක්‍රම කාල රාමුවක් ඇතුළත නිසියාකාරව භාවිතා කිරීමෙන් සුදු මැසි ගහණය පාලනය කළ හැක.

whitefly infested coconut plant

පරපෝෂිතයා ?

විද්‍යාත්මක නාමකරණයේදී “එන්කාර්සියා ගුඩෙලොඋපෙයා” නම් වූ මෙම පරපෝෂිතයා ප්‍රථමයෙන්ම කැරිබියන් දූපත් වලින් සොයාගෙන ඇත. හයිමෙනොප්ටෙරා ගෝත්‍රයට සහ එපිලිනිඩියා කුලයට අයත් වන මෙම කෘමියා තනි තනිව ජීවත්වන්නාවූ අන්තඃ පරපෝෂීතයෙකු වේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධතියේ වෙසෙන මෙම කෘමියා, කුඩා කුඩිත්තෙකගේ ශරීර ප්‍රමාණයට සමානය.


පරපෝෂිතයාගේ වැඩිහිටි අවස්ථාවේදී, සුදු මැස්සාගේ කීට අවධියට හානි සිදු කරයි. මෙහිදී පරපෝෂිතයන්, දෙවන අනු කීට අවධියේ සිටින සුදු මැස්සාගෙන් යුෂ උරා බීම හෝ, ඒ මත පරපෝෂිත බිත්තර දැමීම සිදු කරයි. මෙම නිසා කල්ගතවෙත්ම පරපෝෂිතයන් ගහණය වර්ධනය වී සුදු මැසි ගහණය අවම වේ. මෙම පරපෝෂිතයන් දැනටමත් ස්වාභාවිකව, සුදු මැස්සා හානි කරන්නා වූ පොල් ශාකයන්හිද වෙසෙන අතර, මෙලෙස පළිබෝධ පාලනය ස්වාභාවිකවමද සිදුවිය හැකිය. නමුත් වර්තමාන පළිබෝධ ඝනත්වය ක්ෂණිකව ඉහළයාම සහ පරපෝෂිතයන් ස්වභාවිකම ජනනය වී පරපෝෂීතාවය ඇති කිරීමට කල්ගත වීම හේතුවෙන් කෘත්‍රිමව පරපෝෂිතයන් නිදහස් කිරීම අවශ්‍ය වී ඇත. වර්තමානයේදී රසායනික ක්‍රමවේද භාවිතය හේතුවෙන් ස්වභාවිකව ඇති වන්නාවූ සුදු මැසි පරපෝෂිතයන්ගේ ගහණ වර්ධනයට හානිකර ලෙස බලපා ඇත.

කොන්දේසි කිහිපයක් !

• සුදු මැස්සන් ගහණය 50% ක පමණ මට්ටමක පවතින පොල් ගසක් සඳහා, මෙම ක්‍රමවේදය වඩා සාර්ථක වේ. එසේ නැත්නම්, පීඩනයෙන් යුත් ජල පහරක් මඟින් හෝ කොහොඹ තෙල් මිශ්‍රණය වැනි මර්ධන ක්‍රම මඟින් පළිබෝධ ගහණය වැඩියෙන්ම පවතිණ ශාක පිරියම් කළ යුතුය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, නිදහස් කරන්නාවූ පළිබෝධකයන් ප්‍රමාණයට සාපේක්ෂව පරපෝෂිතයන්ගේ ප්‍රමාණය, ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුවහොත් පරපෝෂී ක්‍රියාවලිය බලාපොරොත්තු වූ අයුරින් සිදුවිය නොහැකි බැවිනි.

• උෂ්ණත්වය සහ වර්ෂාපතනය යන පරිසර සාධක පිළිබඳ පරපෝෂිතයන් ක්ෂේත්‍රයට මුදා හැරීමට පෙර සැලකිලිමත් විය යුතුය. පර්යේෂණවලදී, සාමාන්‍ය උෂ්ණත්වය 30oc වඩා උපරිම වන්නා වූ අවස්ථාවන්හිදී සහ වාර්ෂික වර්ෂාපතනයද සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වන්නා වූ අවස්ථාවන්හිදී පරපෝෂීතාවය අවම වන බව ප්‍රථිපල සමඟ පර්යේෂකයන් දක්වා ඇත.

• පරපෝෂිතයන් සුදු මැස්සාගේ කීට අවධීන් වෙත පමණක් හානි සිදු කරන බව දැනට හෙළිදරව්වී ඇත. මේ අයුරින් සුදු මැසි කීට අවධීන්ගෙන්, චලනය නොවන දෙවන අනු කීට අවධිය සඳහා පරපෝෂිතයන් වඩා රුචිකත්වයක් දක්වයි. මෙම නිසා පරපෝෂිතයන් ගසට මුදා හැරිය පමණින් සුදු මැසි ගහණය අවම වීම දැකිය නොහැකි වන අතර පරපෝෂීතාවය වර්ධනය වීමට යම් කාලයක් ගතවනු ඇත.

බලාපොරොත්තුව …

පොල් පර්යේෂණ ආයතනය සහ ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය විසින් “එන්කාර්සියා ගුඩෙලොඋපෙයා” එනම් සුදු මැසි පරපෝෂිතයා, සුදු මැස්සාගේ මර්ධනයට දීර්ඝකාලීන ක්‍රමවේදයක් බව මෑතකදී නිර්දේශ කරන ලදී. මේ ආකාරයටම එළවළු වර්ගයන්හි වෙසෙන සුදු මැස්සන් විශේෂ මර්ධනය සඳහාද “එරිට්මොසෙරස් ක්‍රිමිකස්” නම් පරපෝෂිත විශේෂයක් ඔවුන් විසින් සොයාගෙන ඇත. මේ අතර ඔවුන් විසින් මෙම පරපෝෂිතයා අභිජනනය සහ පරීක්ෂා කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතී. තවද ඔවුන් විසින් බහුලවම මෙම පළිබෝධ හානිය පවතිණ බස්නාහිර පළාතේ පානදුර, කොලොන්නාව, රත්මලාන සහ ගනේමුල්ල වැනි ප්‍රදේශයන් වෙත පරපෝෂිතයන් මුදා හැරීම මඟින් මූලික අදියරේ පර්යේෂණ සහ අත්හදා බැලීම් කටයුතු සිදු කරමින් පවතී. දැනට පර්යේෂකයන් පවසන අන්දමට, සුදු මැස්සා ආසාදිත එක් පොල් ගසකට කෘත්‍රිම අභිජනනය කරන ලද පරපෝෂිතයන් 500ක් පමණ මුදාහරි.

නමුත් අපගේ පණිවිඩය නම් මෙම ජීව විද්‍යාත්මක ක්‍රම ප්‍රචලිත වන තුරු බලා නොහිද, ඔබට හැකි නිර්දේශිත පළිබෝධ මර්ධන ක්‍රමවේදයක් මෙම කෘමි හානිය අවම කරගැනීමට අනුගමනය කරනු ලෙසයි. එය අනාගතයේ පරපෝෂිතයන් මුදා හැරීමට සහ ස්වාභාවික පරපෝෂීතාවයේ සාර්ථකත්වයටද ඉවහල් වනු ඇත. අභිජනනය කරන ලද පරපෝෂිතයන් ඔබ වෙත ලබා ගැනීම සහ මුදා හැරීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයන් ලබාගත හැකි අතර, අප ඔබවෙත ආයතනික නිර්දේශයන්ට යටත්ව එම තොරතුරු යාවත්කාලීන කිරීමටද බලාපොරොත්තු වන්නෙමු.

References

G. Mollot, N. Borowiec, P.F. Duyck, S. Glenac, and S. Quilici. 2015. “Life-history traits of Encarsia guadeloupae, a natural enemy of the invasive spiralling whitefly Aleurodicus dispersus.” Applied Entomology 209-217.
K. Elango, and S. Jeyarajan Nelson. 2020. “Influence of intercrops in Coconut on Encarsia guadeloupae Viggiani parasitization of Rugose Spiralling Whitefly leurodicus rugioperculatus Martin.” Annals of Plant Protection Sciences 1-3.

K. SELVARAJ, ANKITA GUPTA, T. VENKATESAN, S. K. JALALI, R. SUNDARARAJ, and CHANDISH R. BALLAL. 2017. “First record of invasive rugose spiraling whitefly Aleurodicus rugioperculatus Martin (Hemiptera: Aleyrodidae) along with parasitoids in Karnataka.” Journal of Biological Control 1-5.
“Potential invasive pests of agricultural crops.” By I. Stocks. J. E. Peña. Accessed 2023. https://www.cabidigitallibrary.org/.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.