Irrigation for coconut cultivation

බෝගවලට ජලය ලැබෙනුයේ පසෙන් වන අතර පසට ජලය, ස්වභාවිකව වර්ෂාවෙන් ලැබේ. වර්ෂාව නොමැති විට බෝගවලට අවශ්‍ය ජලය අමතරව සැපයීමට සිදු වන බව සියලු දෙනා දැනුවත් කරුණකි. එවැනි අවස්ථාවල දී කිසියම් ජල මූලාශ්‍රයකින් බෝගවලට ජලය සැපයීම ජල සම්පාදනය ලෙස මූලිකවම හඳුන්වනු ලබයි.

සංතෘප්ත ජල මට්ටම, ක්ෂේත්‍ර ධාරිතා මට්ටම, සහ ස්ථීර මැළවීමේ මට්ටම යනුවෙන් පසේ තෙතමන අවධි 3ක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැක. ශාඛයක් සඳහා එම ශාඛය අවට පැවතීමට සුදුසුම පාංශු ජල තත්ත්වය වන්නේ ක්ෂේත්‍ර ධාරිතාවය වන අතර අවම ජල තත්ත්වය වන්නේ “ස්ථීර මැළවීමේ මට්ටම” නැතහොත් “ස්ථීර මැළවීමේ සංගුණකයහි” පවතින පාංශු ජල ප්‍රමාණයයි. මෙහිදී මුල් වලට අවශ්‍ය ප්‍රශස්ත ජල පරිමාවක් පවතින අතර මූලකේෂවල ශ්වසනට අවශ්‍ය වාතය ද පාංශු වා සිදුරු ඔස්සේ ලැබේ.

පාංශු ජලය පස හරහා විවිධ මාර්ග ඔස්සේ වායුගෝලයට ඉවත්වන ක්‍රියාවලියේදී ශාඛ මූල පද්ධතියට ජලය අවශෝෂණය කිරීම අපහසු වේ. ජල සම්පාදනයේ දී වැදගත් වන්නේ පස වියළීමට, එනම් “ස්ථීර මැළවීමේ සංගුණකයට” පත් වීමට පෙර, ජලය යෙදීමෙන් පාංශු ජල මට්ටම, ක්ෂේත්‍ර ධාරිතාවේ ජල මට්ටම කරා ගෙන ඒමයි. මේ අයුරින්ම නිසි ලෙස පොල් ශාඛ සඳහා ජල සම්පාදනය, පොල් අස්වැන්න වැඩි කර ගැනීමටත්, පොල් ගසේ නිරෝගී වර්ධනයටත් ඉවහල් වේ. 

තෙතමන සංරක්ෂණ ක්‍රම සමඟ ජල සම්පාදනය, පොල් වගාව කළමණාකරනයේදී, ඉතාමත් ප්‍රායෝගිකය. සාමාන්‍යයෙන් වැඩුණු පොල් ගසක් සඳහා දිනකට ජලය ලීටර් 50ක් ද, පොල් පැළයක් සඳහා දිනකට ජලය ලීටර් 10ක් හෝ 15ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

  1. බදුන් ජල සම්පාදනය

වියළි සහ අතරමැදි කලාපයේ වියළි කාලයේ දි පොල් පැළ ආරක්‍ෂා කර ගැනීම සඳහා මෙම ක්‍රමය සුදුසුය. එහෙත් මෙම ක්‍රමය වැඩුනු පොල් ගසට ජලය සම්පාදනය සඳහා ප්‍රායෝගික නොවේ. මෙහිදී සිදුවන්නේ කලයේ ඇති ජලය සෙමින්, මැටි කලයේ බිත්ති හරහා (ආලේප නොකළ කොටස) අස‍්‍රැති පීඩනය ඔස්සේ පිටත පසට කාන්දුවීමයි. මෙහිදී මැටි කලයේ බිත්තිවල පවතින ක්ෂූද්‍ර සිදුරු සහිත ස්වභාවය ජලය මැටි බිත්තිය හරහා පසට උරාගැනීමට රුකුලක් වේ. 

පියවර කිහිපයක් අනුගමනය කර මෙම ජල සම්පාදන ක්‍රමය වගා බිමට හඳුන්වාදිය හැක.

  • ධාරිතාවය ලීටර 15 - 20ක් වන මැටි කල දෙකක් සපයා ගෙන එක් එක් කලයේ, එක් අර්ධයක් ලැකර් වැනි ද්‍රව්‍යකින් ආලේප කරන්න.
  • කලයේ මුඛය පොළවට අඟල් 2ක් පමණ ඉහළට විවෘත වන ලෙස සහ පොල් පැළයේ සිට අඩි 2 ½ ක් වන සේ වළලන්න.
  • කලයේ ලැකර් ආලේපිත දිශාව, පැළයෙන් පිටතට වන ලෙස කල දෙක පහත අයුරින් ස්ථානගත කරන්න.
  • සාමාන්‍යයෙන් සතියකට වරක් ජලය පුරවා, එක් එක් කලයේ මුඛය හොදින් වැසෙන පරිදි ආවරණය කරන්න. මීට හේතුව වන්නේ වැසි කාලයේදී ගලා එන ජලය සමඟ මඩ සහ වැලි, කල තුළ තැම්පත් වී අවහිර වීම වැළැක්වීමටය (වියළි කාලයේ දි නම් සතියකට දෙවරක් ජලය පිරවිය යුතුය).
  • අවසානයේදී එක් එක් කලයේ වර්ණ නොකළ අර්ධය හරහා, ශාකය අවට පසට ජලය කාන්දුවීම සිදුවේ.
  1. කාණු ජල සම්පාදනය

කාණු ජල සම්පාදනය, මලයාසියාව සහ තායිලන්තය වැනි බොහෝමයක් පොල් වගාකරන රටවල් බාවිතා කරන සාර්ථක ක්‍රමවේදයකි. මෙහිදි ජල අවශ්‍යතාව සෘජුවම සැපයෙන අතර අස්වනු නෙළීමේදී කාණු වෙතට ආරක්ෂිතව ගෙඩි කැඩීම සිදු කළ හැක.

  • පොල් ගස මුල සිට අඩි 6ක් හෝ 8ක් දුරින් සහ අඩි 1/3 පමණ ගැඹුරු කාණු, සෑම ගස් පේළියකට වරක් යෙදීම සිදු කරයි.
  • මෙහිදී පොල් පැළ, නිවැරැදි ක්‍රමයකට නැතහොත් සමචතුරස්‍රාකාර ක්‍රමය අනුගමනය කර අඩි 4 ක් වන අවම පරතරයක් වන පරිදි සිටුවිය යුතුයි.
  • කාණු වෙත ජලය සැපයීමට සුදුසු ජල ප්‍රභවයක් අනිවාර්යයෙන් තිබිය යුතු අතර මෙය සමතලා පොළොවක් සහිත භූමියක් සඳහා යෝග්‍ය වේ.
  • වැලි සහිත පොළොවට මෙය යෝග්‍ය නොවන්නේ ජලය ඉතා ඉක්මනින් පස තුළට කාන්දුවන බැවිනි.
  1. නළ ජල සම්පාදනය

ශ්‍රී ලංකාවේ පොල් වගාව සඳහා යොදාගත හැකි ප්‍රායෝගික ජල සම්පාදන ක්‍රමයකි. ඉඩමේ සවිකර ඇති පි.වි.සි. නළ පද්ධතියට සම්බන්ධ හෝස් නළ මඟින් පොල් ගසට ජලය සැපයීම සිදු කරයි. ප්‍රධාන පි.වි.සි නළ පද්ධතිය පොළව යට වළලා ඇති බැවින් පොල් ඉඩමේ වල් ඉවත් කිරීම, ගෙඩි කැඩිම යනාදි කටයුතු බාධාවක් තොරව සිදු කළ හැක.

නළ වැළලීමේදී වගා කර ඇති ඉඩමේ මුලු වර්ග ප්‍රමාණය මැනිය යුතු අතර, සමචතුරස්‍රාකාර පරතරයක් ඇතිව පැළ සිටුවූවේ නම් බට වැළලීමට පෙර නිමිත ලෙස සැළසුම් කරගත හැක. පි.වි.සි ප්‍රධාන නළ, හෝස් නළවල දිගට දෙගුණයක් වන ලෙස පරතරයක් පේළි අතර තබා, ඉඩමේ ස්ථාපනය කරන අතර හෝස් නළ ඒකක, ප්‍රධාන පි.වි.සි නළ පද්ධතියට සම්බන්ධ වේ.

නළ පද්ධතියට ජලය සැපයීමට, උස් බිමක පවතින ජල මූලාශ්‍රයක් (එසවුමක්) හෝ පීඩනයක් යටතේ පවතින ජල මූලාශ්‍රයක් යොදාගත යුතු වේ. රබර් නළ, හෝස් නළ ඒකක සඳහා මූලිකවම යොදාගන්නා අතර ඒවාහි දිග ප්‍රමාණයන් තම වගාවට සරිලන පරිදි තෝරාගත යුතුය. එලසම පද්ධතියේ ප්‍රධාන වෙනස් කිරීමක් සිදු නොකර අතුරු වගාව සඳහා ජලය සම්පාදනයට ද යොදා ගත හැක.

  1. විසුරුම් ජල සම්පාදනය

විසුරුම් ජල සම්පාදනය මඟින් ජලය ගස අවට සම්පූර්ණ භූමි ප්‍රමාණයට සැපයීම සිදු වන අතර ගස වටා අඩි 10ක් පමණ විෂ්කම්භයක් ආවරණය කරයි. පොල් පැළ තවාන් සඳහා ඉතාමත් යෝග්‍ය වන මෙම ක්‍රමයේදි වගා බිමට වඩා උස් බිමක පවතින ජල මූලාශ්‍රයකට විසුරුම් නළ සම්බන්ධ කරයි. විසුරුම් ඒකක වෙත ජලය සාමාන්‍යයෙන් කිලෝ පැස්කල් 200 – 340 පීඩනයක් සහිතව ලැබිය යුතුය.

මෙහිදි පොල් ගස් වෙත වෙනම ජල සම්පාදනය ඒකක නොයෙද්. පොල් ගස් අවට සම්පුර්ණ පොළවමටම ජලය යෙදෙන නිසා ජල නාස්තිය වැඩිය. නමුත් පද්ධතිය මඟින් පොහොර මුල්වලට අවශෝෂණය කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ . මෙම ජල සම්පාදනය ක්‍රමය මඟින් ගැඩවිලන් වැනි පාංශු ජීවීන් වර්ධනයට හිතකර ක්ෂුද්‍ර තත්ත්වයක් නිර්මාණය වන අතර එය ස්වභාවික ජීරණ ක්‍රියාවලි හරහා කාබනික පෝෂක ගසේ මුල් නිකුත් වීම සඳහා උපකාරී වේ කම්කරු ශ්‍රමය ඉතුරු වීම, අතුරුභෝග වගාව සඳහා වැදගත් වීම, පහසු ක්‍රියාකාරීත්වය සහ කල් පැවැත්ම අතින් ද විසුරුම් ජල සම්පාදනය වාසි ගෙනදේ.

  1. බිංදු ජල සම්පාදනය 

ජල සම්පාදනයේදී සිදුවන ජල අපතේ යෑම අවම කරගැනීම සඳහා මෙම බිංදු ජල සම්පාදන ක්‍රමය හඳුන්වාදී ඇත. ගසේ පොහොර කවයේ, ස්ථාන කීපයකට හෝ එකක් ස්ථානයකට මෙම ක්ෂුද්‍ර ජල විසුරුම් ඒකක යෙදීම සිදු කළ හැකිය. සාපේක්ෂව ගතහොත් පොල් වගාව සඳහා වඩාත්ම යෝග්‍ය ජල සම්පාදන ක්‍රමය ලෙසට සැලකිය හැක.

විසුරුම් ජල සම්පාදන්යේදී තරම් විශාල පීඩනයක් අවශ්‍ය වන්නේ නැත. මෙහිදී ද වගා බිමට වඩා උස් බිමක පවතින ජල මූලාශ්‍රයක් (එසවුමක්) ඔස්සේ කිලෝ පැස්කල් 170– 205 ක පමණ පීඩනයක් යටතේ ජලය ක්ෂූද්‍ර ජල විසුරුම් ඒකක වෙත ලැබිය යුතුය.අඟල් ¾ ක් පමණ පීවීසී පයිප්ප මූලික ජල සැපයුමට සම්බන්ධ කර, ඒ එක් එක් ප්‍රධාන නළ ගස් පේළි අතරින් විහිදුවීම සිදු කරයි (ගස් පේළි දෙකක මධ්‍යයට වන ලෙස). ක්ෂූද්‍ර ජල විසුරුම් ඒකක, එක් එක් ගසක් හෝ ගසේ පොහොර කවය වෙත ලැබෙන සේ නළ ස්ථාපනය කරනු ලබයි. සාමාන්‍යයෙන් ජල විසුරුම් ඒකක තුනක් හෝ හතරක් එක් ගසකට යොදනු ලැබේ.

බිංදු ජල සම්පාදනයේ වාසි

  • පොල් ගසේ මුල් විහිදි ඇති සීමාවට පමණක් ජලය අවශ්‍ය ප්‍රමාණය සැපයීමට ඇති හැකියාව.
  • අවම ජල ප්‍රමාණයකින් පොල් ගසට ප්‍රමාණවත් පරිදි ජලය සැපයිය හැක ජල නාස්තිය අවම වීම.
  • ජල පද්ධතිය මඟින්ම පොල් ගසට පොහොර සැපයීමේ හැකියාව.
  • සරළ වෙනස්කම් තුලින් අතුරුබෝග වගවටද මෙමගින් ජලය සැපයිය හැක.
  • බලශක්තිය හා ශ්‍රමය ඉතිරි වීම.
  • වල් පැළෑටි වර්ධනය අඩු කරයි. 
  1. බේසම් ජල සම්පාදනය

පොල් ගසේ මූල කාල‍පය ආවරණය වන පරිදි ගැඹුර සෙ.මි. 10 ක් පමණ වන බේසම් මෙහිදී පොල් ගස වටා සාදනු ලැබේ. කුඩා කාණු මඟින් මෙම බේසම් සම්බන්ධ කර මෙම කාණු ඔස්සේ එක් එක් පොල් ගසට ජලය සම්පාදනය කරනු ලැබේ. සමතලා හෝ අක්‍රමවත් බෑවුම් සහිත ඉඩම්වලට මෙන්ම වැලි පස සහිත ඉඩම්වලට මෙම ක්‍රමය නුසුදුසු වේ. තවද මෙම ක්‍රමය මඟින් නිශ්චය කරන ලද ජල ප්‍රමාණයක් පොල් ගසට සැපයීමට අපහසු වේ.

  1. ග්‍රිඩ්ල් ජල සම්පාදනය

නළ පද්ධතිය හා අනිකුත් උපාංග ස්ථාපිත කිරිම බොහෝවිට බිංදු ජල සම්පාදන පද්ධතියට සමාන වේ. මෙම ජල සම්පාදන ක්‍රමය, බිංදු ජල සම්පාදන පද්ධතියෙන් වෙනස් වන්නේ, පොල් ගසේ පාමුල වටා පහත අයුරින් ක්ෂුද්‍ර ජල විසුරුම් ඒකක පිහිටා තිබීමයි. මෙහිදී පොල් ගසේ කඳ වටා ජලය සැපයීම සිදුවේ.

  2022.01.04

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.