Intercropping under coconut in sri lanka

පොල් සමඟ අතුරු බෝග

ශ්‍රී ලාංකිකයන්ට මහත් වූ ප්‍රයෝජන රැසක් හිමිකර දෙන ශාක අතුරින් කප්රුක සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. දීර්ඝ කාලයක සිට මෙරට ප්‍රධාන අපනයන බෝගය වූ පොල් අප රට තුළ මහා පරිමාණයෙන් වගා කෙරුණ නමුත් පසුගිය දශක දෙක තුළ විවිධ කණගාටුදායක හේතූන් නිසා පොල් වගාවේ කඩාවැටීමක් දක්නට ලැබුණ, අතර වර්තමානදීත් එළෙසම පවතී. එසේම පොල් වගාව කළමනාකරණය සඳහා වැයවන වියදමට සරිලන්නට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම වගාවකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මීට අමතරව බහුතරයක් පොල් තනි වගාවක් ලෙසටම පවත්වාගෙන යෑම ආර්ථික ප්‍රථිලාභ පහළ මට්ටමකට කඩා වැටීමට හේතුවකි.

එම ගැටලුවට එක්තරා පිළියමක් ලෙස පොල් වගාව සමඟ අතුරු බෝග වගා කිරීම මහත් වාසි සහතවනවා. ඉඩමෙන් උපරිම ඵලදායීතාව නෙළා ගතහැකි වීම මෙන්ම අතුරු බෝග වගාව නිසා පොල් මිල පහළ යන අවධියේදී පොල් වගාකරුවාගේ ආර්ථික තත්ත්වය තරමක්‌ දුරට හෝ ස්ථාවර තත්ත්වයක තබාගත හැකිය වේ.

අතුරු බෝග වගාවෙන් පොල් වගාවට ගැටලුවක් වේවිද?

දැනට ලංකාවේ බොහොමයක්‌ ප්‍රදේශයන්හි පොල් වගා කර ඇත්තේ අඩි 20 x 20 හෝ අඩි 26 x 26 පරතරයකටය. මෙම ඉඩමකින් පොල් ගස ප්‍රයෝජනයට උපයෝගි කර ගන්නේ සියයට 25 කි. ඉතිරි සියයට 75ක ප්‍රමාණය අතුරු බෝග සඳහා යොදා ගත හැකි වේ. එම නිසා පොල් යටතේ අතුරු බෝග වගා කිරීමේදී ඉඩකඩ එතරම් ප්‍රශ්නයක්‌ ඇති නොකරයි.

නමුත්

  • පොල් ගස අධික පෝශක ප්‍රමාණයක්‌ උරා ගන්නා අතර, අතුරු බෝග වගා කිරීමෙන් මෙම පෝෂක සඳහා පොල් ගස සහ අතුරු බෝගය අතර ඝට්ටනයක් ඇති විය හැකිය.
  • පොල් ගසක් විසින් විශාල ජල ප්‍රමාණයක්‌ පසෙන් උරා ගන්නා බැවින්, පොල් සහ අතුරු බෝගය අතර ජලය සඳහාද තරගයක් ඇතිවේ.
  • හිරු එළිය මෙම ගැටලුවට තුඩු දෙන්නේ පොල් ගස් අතර නියමිත පරතරය නොතිබෙන විටකදීය. එයට හේතුව නම් සමීපව ඇති පොල් ගස් අතර අතුවිහිදීම නිසා පොළව වෙත හිරුඑළිය නිසි ලෙස නොලැබීමය.

කෙසේ වෙතත් මෙම තත්ත්වයන් මගහරවා ගත හැකි බාධක වන අතර නියමිත කරුණු ගැන සැලකිල්ලට ගැනීම මඟින් පොල් සමඟ සාර්ථකව අතුරු බෝග වගාව සිදු කළ හැකියි. මේ සඳහා, අතුරු බෝග වගාවක් සඳහා වඩාත් සුදුසු පොල් ඉඩම් තෝරා ගැනීමත්, නිසි පරතරය ඇතිව පොල් වගාව කළමනාකරණය සහ පොල් වගාවට මෙන්ම සිටුවීමට අදහස් කරන අතුරු බෝගයට ද පොහොර නිර්දේශිත ආකාරයෙන් යෙදීම සිදු කළ යුතු වේ. තවද, පොල් ගසේ සිට අඩි 6 ක සීමාව වන මූල කලාපය මඟහැර අතුරු බෝග වගා කිරීමෙන් ජලය සහ පෝෂක සඳහා ඇති වන්නා වූ තරගය අවමකර ගත හැකිය.

අතුරු බෝග?

සාමාන්‍යයෙන් පොල් ඉඩමක වගා කිරීම සඳහා තෝරාගන්නා අතුරු බෝග වාර්ෂික (කන්න බෝග), අර්ධ බහු වාර්ෂික සහ බහු වාර්ෂික වශයෙන් කාණ්ඩ 3කට වෙන්කරනු ලබයි.

A. වාර්ෂික බෝග

  • මෙම බෝගවල කාල සීමාව වසරකට නොවැඩි වේ.
  • මේ සඳහා ඉඟුරු, කහ, මඤ්ඤොක්කා, අල වර්ග, බතල සහ වැටකොලු, කැකිරි, මිරිස් වැනි එළවළු වර්ගද අයත් වේ.

B. අර්ධ බහු වාර්ෂික බෝග

  • මෙම බෝගවල කාල සීමාව වසර 2 සිට 5 දක්වා වේ.
  • මේ සඳහා අන්නාසි, කෙසෙල්, වැල් දොඩම්, පැපොල්, බුලත් සහ ගස් ලබු ආදිය අයත් වේ.

බහු වාර්ෂික බෝග

  • මෙම බෝගවල් කාල සීමාව වසර 10 ඉක්මවයි.
  • මේ සඳහා කොකෝවා, කෝපි, ගම්මිරිස්, කුරුඳු, තේ, කරාබු, පේර, සාදික්කා, පුවක් (කලාතුරකින්), රඹුටන්, මැංගුස්, දෙහි, අලිපේර සහ තෘණ වට්ග අයත් වේ.

සාර්ථක අතුරු බෝග වගාවක් සඳහා සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු

1. ශාක පෝෂක

ඒකාකාරී වර්ධනයක් මෙන්ම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා පොල් මෙන්ම අතුරු බෝගයට ද පෝෂක අවශ්‍යම සධකයකි. එබැවින් පොල් වගාවට මෙන්ම අතුරු බෝග වගාවටත් නිර්දේශිත ශාක පෝෂක ලබාදිය යුතු වේ. අතුරු බෝගය සඳහා නිර්දේශිත පොහොර නොලැබුණ හොත්, එය පොල් ගසේ වර්ධනයට අවැසි පොහොර උරාගැනීමක් සිදු කරයි. එමඟින් පොල් ගසේ වර්ධනයටත් අතුරු බෝග හෝ බෝගයේ වර්ධනයටත් බලපෑම් ඇති කරයි. එක් එක් අතුරු බෝගය සඳහා විවිධ පොහොර ප්‍රමාණයන් පවතින අතර ඒවා මීළග ලිපි මඟින් සවිස්තරාත්මක පලකරනු ඇත.

2. පස

අතුරු බෝග වගාව සඳහා සාරවත් පසක් තෝරා ගත යුතු අතර පසෙහි වයනය, ජලය බැසයාමේ සීඝ්‍රතාව, ජලය රඳවාගත හැකි ප්‍රමාණය එනම් ක්ෂේත්‍ර ධාරිතාව, පසෙහි PH අගය, කැටායන හුවමාරු ධාරිතාවය වැනි පාංශු ලක්ෂණ සැලකිල්ලට ගත යුතුයි. එක් එක් අතුරු බෝගය සඳහා විවිධ පාංශු ලක්ෂණයන් පවතින අතර ඒවා මීළග ලිපි මඟින් සවිස්තරාත්මක පලකරනු ඇත. උදාහරණයක් ලෙස ප්‍රධාන අතුරු බෝගයක් වන අන්නාසි, ජලය බැසයන බොරලු සහිත පසේ ඉතා සාර්ථකව වැඩෙන අතර කුරුඳු ශාඛ වැලි පස ප්‍රිය කරයි.

3. වර්ෂාපතනය සහ දේශගුණය

වගා කිරීම සඳහා අතුරු බෝග තෝරාගැනීමේ දී අනිවාර්යෙන්ම ප්‍රදේශයේ වර්ෂාපතන රටාව පිළිබඳව දැනුවත් විය යුතුයි. එහි දී අප තෝරාගත් අතුරු බෝගයේ විවිධ වර්ධන අවස්ථාවන්ට අනුකූල වන ජල අවශ්‍යතාවයන් හා වර්ෂාපතන ව්‍යාප්තිය යම්තාක් දුරට හෝ ගැළපිය යුතුය. මීට අමතරව වගාව ස්ථාපිත කිරීමට යෝජිත ප්‍රදේශය කුමන ආකාරයේ දේශගුණික කලාපයක පිහිටා තිබෙන්නේද යන්නසොයා බැලිය යුතුය. එම එක් එක් දේශගුණික කලාපවල පිහිටා තිබෙන පොල් වගාවන් සඳහා පහත දැක්වෙන ආකාරයට අතුරු බෝගයන් නිර්දේශ කර තිබේ.

A. තෙත් කලාපය Wet zone

වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර් 2300 - 5100

B. තෙත්-අතරමැදි කලාපය Wet-intermediate zone

වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර් 1600 - 2300

C. අතරමැදි වියළි කලාපය

වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර් 1250 -1500

4. සෙවණ

හිරු එළිය උපරිමයෙන් ලබා ගැනීමට අතුරු බෝග පේළි නැගෙනහිර සිට බටහිර දිශාවට මුහුණලා සිටුවිය යුතුය. සාමාන්‍යයෙන් කෝපි, කොකෝවා, අල වර්ග, ඉඟුරු, ගම්මිරිස් සහ කරාබු වැනි බෝග සඳහා සෙවණ සහිත පාරිසරික තත්ත්වයන් අවශ්‍ය වේ. එබැවින් එම වර්ගයන්ට අයත් බෝග වගා භූමියේ සාපේක්ෂව අඩු සූර්යාලෝකයක් දවස තුළම පවතින ස්ථානය සිටුවිය යුතුය.

5. බෑවුම

අතුරු බෝග වගාවේදී, පොල් ගස් අවට පාංශු ඛාදනය අවම වන අයුරින් හෙල් වැටි ක්‍රමය වැනි සුදුසු ක්‍රමයකට ස්ථාපිත කළ යුතුය. සාමාන්‍යයෙන් බහු වාර්ෂික බෝගයන් වන ගම්මිරිස්, කොකෝවා සහ කෝපි බෑවුම් සහිත ප්‍රදේශ සඳහා ඉතාමත් සුදුසුය. ඉඟුරු, අන්නාසි වැනි බෝගයන් ද අඩු බෑවුම් හො සමතලා ප්‍රදේශ සඳහා සුදුසුය.

6. පොල් ගස් වල වයස

පොල් වගාවක පොළව මට්ටමට පතිතවන ආලෝක ප්‍රමාණය තීරණය වන්නේ පොල් ගසේ වයස, සිටුවා ඇති ක්‍රමවේදය සහ ගස් අතර ඇති පරතරය යන ප්‍රධාන සාධක මතය. සාමාන්‍යයෙන් පොල් පැළ සිටුවීමේදී අඩි 26 හෝ 24 පරතරය පවත්වා ගැනීම, පොල් වගවේ යහපැවැත්මටත්, යටි වගාවේ ආරම්භයටත් වඩා වැදගත් කරුණකි.

පවතින පොල් වගාවේ ගසේ වයස අනුව එහි වගාකර හැකි අතුරු බෝග වගාව ප්‍රධාන වශයෙන් පරිච්ඡේද 4කට බෙදිය හැක.

I. පළමු අවධිය (වයස අවුරුදු 0-5)

සාමාන්‍යයෙන් පොල් පැළ අවධියේදී, එනම් සිටුවීමේ සිට වයස අවුරුදු 5 දක්වා කාලයේදී පොළව ස්ථරය වෙත හිරු එළිය ඉතා හොඳින් ලැබේ. එබැවින් ආලෝකයට ප්‍රිය බෝගයන් වන අන්නාසි, පැපොල්, වැල් දොඩම් සහ පේර වැනි වාර්ෂික හෝ අර්ධ බහු වාර්ෂික ශාකයන් අතුරු බෝග ලෙසින් වගා කළ හැකියි. මීට අමතරව පස සැකසීමෙන් සහ නිසි ලෙස ජල සම්පාදන ක්‍රම භාවිතය මඟින් එළවළු සහ වාර්ෂික බෝගද වගා කළ හැක.

II. දෙවන අවධිය (වයස අවුරුදු 6-20)

යාබද සිටුවා ඇති පොල් ගස් දෙකක අතු කෙළවරවල් එකිනෙක වැදී, වියනක් මෙන් සෑදී තිබෙන ආකාරය වයස අවුරුදු 6 සිට 20 අතර වන පොල් ගස් සහිත වගාවක සුලබව දැකගත හැකියි. එබැවින් පොළොව මට්ටමට පතිතවන ආලෝකය ප්‍රමාණය විශාල වශයෙන් අවම වීම සිදුවේ. මෙවන් අවධියක පවතින පොල් වගාවක් තුළ අතුරු බෝග වගාව සිදුවන්නේ ඉතාමත් අල්ප ලෙසිනි. කෙසේවෙතත් අල වර්ග, ඉඟුරු සහ කහ වැනි සෙවණ ප්‍රිය කරන බෝග අතුරු බෝගයන් ලෙස වගා කළ හැකිය.

III. තෙවන අවධිය (වයස අවුරුදු 21-50)

පොල් වගාව වයස අවුරුදු 20 ඉක්මවා යාමත් සමඟ පොල් ගස්වල උඩු වියන ක්‍රමයෙන් කුඩා වීම දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වගාවේ පොළොව මට්ටමට ආලෝකය ලැබීම ඇරඹේ. ඒ අනුව මෙම අවධියේ දී, ගම්මිරිස්, කුරුඳු, කෙසෙල්. අන්නාසි, බුලත් සහ ඉඟුරු ආදිය මූලිකවම වගා කෙරේ.

IV. සිව්වන අවධිය (වයස අවුරුදු 51-70)

මෙම අවධියේ පවතින පොල් ගසවල වයස සාමාන්‍යයෙන් අවුරුදු 50 ඉක්මවා ගිය පැරණි පොල් වගාවන්ය. මෙහිදී නැවත පොල් වගා කිරීම හෙවත් යටි වගාවේ ආරම්භය සිදුවේ. මෙම අවධියේ දී වාර්ෂික බෝගවන එළවළු, මඤ්ඤොක්කා සහ අර්ධ බහු වාර්ෂික බෝග වන අන්නාසි, කෙසෙල් පමණක් අතුරු බෝග වගාව සඳහා තෝරා ගත යුතුය. නමුත් ගම්මිරිස් සහ කෝපි වැනි බහු වාර්ෂික බෝගතෝරා නොගත යුතුවේ.

පොල් සමඟ අතුරු බෝග වගාවේ වාසි

  • පොල් ඉඩමෙන් ලැබෙන ආදායම වැඩි වේ.
  • බෝග ඵලදායීතාවය වැඩි වේ.
  • භූමියේ ඇති සම්පත් උපරිම ආකාරයට ප්‍රයෝජනයට ගත හැකි වීම
  • පොල් නිෂ්පාදනය වැඩි වේ.
  • අපතේ යන සූර්යාලෝකය සහ තෙතමනය ප්‍රයෝජනයට ගත හැකි වේ.
  • වල් පැළෑටි වර්ධනය අඩු කරයි.
  • ආදායම සඳහා එක් බෝගයක් මත පමණක් යැපීමේ අවදානම අඩු වේ.
  • අතුරු බෝගයේ මුල් විහිදීමෙන් පසේ ජලවහනය, ජලය කාන්දුවීම සහ වාතය වැඩිදියුණු කරයි.
  • අතුරු බෝග නිසා පසට විශාල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ලැබෙන අතර පසෙහි සාරවත් බව වැඩි වී ක්ෂූද්‍ර ජීවී ක්‍රියාකාරිත්වයද ඉහළ යයි.
  • පාංශු වැස්‌මක්‌ ඇති වන නිසා සහ පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යන නිසා පසේ තෙතමනය ආරක්‍ෂා වෙයි.
  • අධික වර්ෂාපතනයෙන් ඇති කෙරෙන පාංශු ඛාදනය අඩු වීම.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.