Intercropping turmeric with coconut in Sri Lanka (Curcuma longa)

පොල් සමඟ කහ අතුරු බෝග වගාව

කහ ගැන කවුරුන් හෝ පැවසුවොත් ශ්‍රී ලාංකික අපට පළමුවෙන්ම සිහිවෙන්නෙ අපේ නිවසේ මුළුතැන්ගෙයයි. හේතුව එතරම්ම කහ ශාකය අප සාම්ප්‍රදායික ජීවිතයට මුතුන්මිත්තන්ගේ සිටම කාවැදුන බෙහෙවින්ම වටිනා ශාකයකි. කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොණ දිග ආසියානු රටවල්‌ ලෙස සැලකේ. ලෝකයේ වාර්ෂික සමස්ත කහ නිෂ්පාදනය මෙට්‍රික් ටොන්‌ 1,100,000ක්‌ පමණ වන අතර මින් 80% ක්‌ පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ අප අසල්වැසි ඉන්දියාවයි. මීට අමතර බංගලාදේශය, පාකිස්ථානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, සහ අප ශ්‍රී ලංකාව යන රටවල ද කහ වගා කරනු ලැබේ. කෙසේවුවද සංඛ්‍යාලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාවේ දළ කහ පරිබෝජනය මෙට්‍රික් ටොන් 7500 ඉක්මවන අතර දේශීය කහ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2000 (සමස්ථයක් ලෙස 0.18%) කට අවම ප්‍රමාණයකි. කහ ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල්‌ වන්නේ ඇමෙරිකා එක්සත්‌ ජනපදය, බංගලාදේශය, ඉන්දියාව, මැදපෙරදිග රටවල්‌, චීනය, මොරොක්කෝව, ජර්මනිය, නෙදර්ලන්තය, මැලේසියාව සහ එක්සත් රාජධානියයි.

භාවිත

ආහාර පිළියෙල කිරීමේදී වර්ණකයක් ලෙස

කුළුබඩු මිශ්‍රණවල සංඝටකයක්‌ ලෙස

  • සායම්‌ නිෂ්පාදනය
  • රෙදිපිළි වර්ණ ගැන්වීම
  • ආයුර්වේද ඹෟෂධ නිෂ්පාදනය
  • රූපලාවන්‍ය කටයුතු
  • විෂබීජ නාශකයක් ලෙස.

කෘෂිකර්ම සංඛ්‍යාලේඛන දත්ත අනුව මෙරට මුළු කහ වගා වපසරිය හෙක්ටයාර්‌ 1000 කට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව කලකට පෙර ප්‍රධාන ආනයනකරුවකු ලෙස සැලකුවද පසුගිය වසර කිහිපය තුළ එය අවම ප්‍රමාණයකට පත්ව ඇත.

කර්ක්‍යුමින්

කහවල වර්ණය ලබාදෙන සංඝටකය කර්ක්‍යුමින් වන අතර එහි ප්‍රමාණය අනුව කහ වල වර්ණය වෙනස්‌ වේ. කහවල අඩංගු කර්ක්‍යුමින් ප්‍රමාණය 2% - 5.4% පමණ වන අතර ලංකාවේ වගා කරන කහ ප්‍රභේදවල කරිකියුමින්‌ ප්‍රතිශතය 4% – 6.4% ක්‌ පමණ වේ. 5.4% ට ඉහළ කර්ක්‍යුමින් ප්‍රතිශතයක් ඇති කහ වලට ඉහළ විදෙස් ඉල්ලුමක්‌ පවතින අතර කර්ක්‍යුමින්වල ප්‍රතිඔක්සිකාරක ගුණයන්‌ පවතින බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.

“අනායනික (ඉන්දියානු) කහ වලට සාපේක්ෂව ලංකාවේ නිපදවන ලද කහ වල 2.02% කට වැඩි ප්‍රතිශතයක් කර්ක්‍යුමින් පවතින බව, 2017 දී සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත.”

ඔබ දන්නවා ද? 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාව,

* වියළි කහ නිෂ්පාදන පරිමාවෙන් මෙට්‍රික් ටොන්‌ 4,196 ක්‌ ඉන්දියාව, සිංගප්පූරුව, මියන්මාරය සහ චීනය යන රටවලින්‌ ආනයනය කර ඇති බව.

* සියළු කහ නිෂ්පාදන අපනයන පරිමාව මෙට්‍රික් ටොන්‌ 13.3 ක් පමණක් බව.

* ඉන් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය, රැපියල්‌ මිලියන 11.2ක්‌ වන බව.

කහ ආනයනය කිරීමට වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ අපනයනය ගොඩනැංවීම සඳහා දේශීය කහ නිෂ්පාදනය තවදුරටත්‌ දිරිමත්‌ කළ යුතු අතර එය මෙම ලිපියේ මූලික අරමුණයි.

ප්‍රධාන වගා කරන ප්‍රදේශ

තෙත්‌ කලාප සහ අතර මැදි කලාප වැනි දිවයිනේ වැඩි විභවයක්‌ සහිත ප්‍රදේශයනිහි මෙන්ම සම්ප්‍රදායිකව මෙතෙක්‌ කහ වගා නොකල දිවයිනේ වෙනත්‌ ප්‍රදේශ එනම්‌ අම්පාර දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශ වල සුදුසු ඉඩම්‌ තුළ තනි බෝගයක් ලෙසත් පොල් වගාව සමඟ අතුරු බෝගයක් ලෙසත්, කහ වගා කිරීම සඳහා යොදා ගත හැකිය. ගෙවතු වගාව සඳහා ද කහ උචිත බෝගයක්‌ ලෙස හැඳින්විය හැකිය. මීට අමතරව ජල සම්පාදන තත්ත්ව යටනේ වියළි කළාපයට අයත්‌ ප්‍රදේශවලද සෙවණ සහිතව කහ වගා කළ හැකිය.

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

සින්ජිබ්රේසියේ කුලයට අයත්‌ වන කහ ශාකය “කුකුර්මා ලොන්ගා” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන්‌ හඳුන්වනු ලැබේ. කහ ශාකය භූගත රෛසෝමයකින් සහ සෙන්ටිමීටර 60-90ක්‌ (අඩි 2-3) උසට වැඩෙන පළල්‌ පත්‍ර සහිත ව්‍යාජ, වායව කඳකින්‌ ද සමන්විත වේ. ව්‍යාජ කඳේ පත්‍ර 6-12ක්‌ පමණ වන අතර තද කොළ වර්ණයෙන් යුක්තය. පත්‍රවල අග්‍රස්ථ කෙළවර පාදස්ථ කෙළවරට වඩා පළල්ය.

ප්‍රධාන භූගත කඳ මඟින් ආහාර සංචිත පවත්වාගන්නා අතර එයින් ශාඛා ලෙස කහ අල (රෛසෝම) හට ගනී. රෛසෝමයේ අභ්‍යන්තරය තද තැඹිලි පැහැයේ සිට කහ පැහැයක්‌ ගන්නා අතර කහවලට ආවේනික වූ ගන්ධයක් සහ රසයක්‌ ඇත.

ප්‍රභේද

දේශීයව වගා කරන ලද ප්‍රභේද ගණනාවක් තිබුණද ඒවා විශේෂයෙන් හඳුනාගෙන නොමැත. ආනයනික ප්‍රභේද එනම් ගුන්ටර්, පූනා සහ මදුරාසි මාජල් වැනි ප්‍රභේද, දේශීය ප්‍රභේද සමඟ මිශ්‍රව වගා කෙරේ.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා රෝග සහ පළිබෝධවලින්‌ තොර, හොඳින්‌ වර්ධනය වූ වැඩි අස්වැන්නක්‌ සහිත වගාවලින්‌ සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරාගත යුතුය. මව් රෛසෝම සහ ඇගිලි රෛසෝම ලෙස රෛසෝම වර්ග දෙකක් කහ වල දක්නට ලැබෙන අතර මේරූ ඇගිලි රෛසෝම සුදුසු රෝපණ ද්‍රව්‍යවේ. හොඳින්‌ මේරූ, මධ්‍යස්ථ ප්‍රමාණයකින්‌ යුත්‌, අංකුර 1-2ක්‌ සහිත, බර ග්‍රෑම් 30-35 ක් පමණ වන අල කැබලි සිටුවීම සඳහා සුදුසු චේ. සිටුවීම සඳහා තෝරා ගත්‌ අල කැබලි, දිළීර නාශක ද්‍රාවණයක මිනිත්තු 10ක්‌ පමණ ගිල්වා තබා පසුව සිටුවීමෙන්‌ දිළීර රෝග ආසාදනය පාලනය කළ හැකිය.

දේශගුණය සහ පස

මුහුදු මට්ටමේ සිට මීටර 1,500ක්‌ දක්වා උස්‌ ප්‍රදේශවල කහ වගා කළ හැකි අතර වියළි කලාපයේ ජල සම්පාදන තත්ත්වයන්‌ යටතේ ද කහ වගා කළ හැකි චේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 1,500ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ජල සම්පාදනය යටතේ වියළි කලාපයේ කහ වගා කළ හැකිය. මනා වර්ධනයක්‌ සඳහා සුදුසු පරිසර උෂ්ණත්වය 20 ºC – 35º C අතර වේ.

විවිධ පස්‌ වර්ගවල කහ වගා කළ හැකි වුවත්‌ මනා ජල වහනයක්‌ ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස ඉතා යොග්‍ය වේ. එබැවින් පොල් වගා බිමේ ඒ සමඟ සාර්ථකව සිදුකළ හැක. දුර්වල ජල වහනයක්‌ සහිත පස්‌, ගල්‌, බොරලු අධික පස්‌ සහ මැටි පස්‌ කහ වගාව සඳහා සුදුසු නොවේ. පසෙහි පී එච්‌ අගය 5.5-6.5ක්‌ වීම වඩාත්‌ උචිත වේ. නමුත් මැටි අධික පස් සහිත ක්ෂේත්‍රයක් වුවද වැලි සහ කාබනික ද්‍රව්‍ය එක් කර සකසා ගත් පසු කහ පහසුවෙන් වගා කල හැකිය.

දේශීයව ප්‍රධාන වශයෙන්‌ කහ වගාකරනු ලබන්නේ යල කන්නයේ වැසි සමඟ මාර්තු හෝ අප්‍රේල්‌ මාසවල දී ය. නමුත්‌ දිවයිනේ විශේෂයෙන්ම වියළි ප්‍රදේශවල, මහ කන්නයේ වර්ෂාවත්‌ සමඟ ඔක්තෝබර්‌, නොවැම්බර්‌ මාසවල දී ද කහ වගා කෙරේ.

කහ ශාකය හිරුඑළිය සඳහා වැඩි කැමැත්තක්‌ දැක්වූවත්‌ බහුලව වගා කරනුයේ මඳ සෙවණක් ඇති පොල්‌ සහ කෙසෙල්‌ වැනි බෝග සමඟ අතුරු බොගයක්‌ ලෙසටය. අධික සෙවණ, බෝගයේ අස්වැන්න අඩුවීම කෙරෙහි බලපානු ඇත.

පොල් සමඟ ක්ෂේත්‍ර රෝපණය

පොල් ගසේ සිට අඩි 6-7 ක් පමණ අත්හැර කහ පාත්ති යෙදිය හැක. මෙහිදී පොල් පේළි අතර පමණක් වගා කිරීමෙන්, පස සෝදා පාලුව අවම කරයි. කහ රෝපණය කරනුයේ රූපයේ පරිදි පාත්ති හෝ වැටි වලය. ක්ෂේත්‍රය සෙන්ටිමීටර 35-40 ක් පමණ ගැඹුරට පස බුරුල් කොට, සියුම් පසක් ලැබෙන තෙක් පස් කැට පොඩි කළ යුතු වේ. අඩක් පිළිස්සුනු දහයියා (දහයියා අඟුරු) පාත්තියේ වර්ග මීටර් 1 කට කිලෝ ග්‍රෑම් 3-4 ක ප්‍රමාණයක් එකතු කර පසට කලවම් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. පාත්තියක පළල, දිග අඩි අවශ්‍ය පරිදි සහ පොල් වගාවේ පරතරය මත වෙනස් කරගත හැක. එක් පාත්තියක උස සෙන්ටිමීටර 18 - 20 ක් පමණ වන අතර පාත්ති අතර කාණුවල ගැඹුර ද සෙන්ටිමීටර 18 – 20 වන සේ සකසා ගනී.

පාත්තියක

  • පේළි අතර පරතරය සෙන්ටිමීටර 30
  • පේළියක ශාක අතර පරතරය සෙන්ටිමීටර 30
  • එක් කහ පැළයක රෝපණ ගැඹුර සෙන්ටිමීටර 5 - 7.5

බීජ අල සිටුවීමෙන් අනතුරුව ප්‍රමාණවත් පාංශු තෙතමනයක් නොමැති නම් ජල සම්පාදනය කළ යුතු වේ. හෙක්ටයාරයක් වගා කිරීමට

සාමාන්‍යයෙන්

  • බීජ අල කිලෝ ග්‍රෑම් 1500- 2000ක් පමණ අවශ්‍ය වන අතර
  • පොල් වගාවේ අතුරු බෝගයක් ලෙස වගා කරන විට බීජ අවශ්‍යතාවය හෙක්ටෙයාරයකට කිලෝ ග්‍රෑම් 650 kg ක් පමණ වේ.
  • සෙන්ටිමීටර 120 සහ සෙන්ටිමීටර 300 පමණ වන්නාවූ පාත්තියක් සඳහා බීජ අල, දළ වශයෙන් කිලෝ ග්‍රෑම් 1- 1.25 ක් පමණ අවශ්‍ය වේ. 1-1.25 kg of seed tubers is needed.

බෝග කළමනාකරණය

වසුන් යෙදීම

වල් පැළෑටි මර්ධනය හා පසෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා බීජ අල සිට වූ විගස සෙන්ටිමීටර 2-3 ක් ඝණකමට පාත්ති වසුන් යෙදීම යෝග්‍යවේ. වසුන් සඳහා පොල් අතු, පිදුරු, දහයියා හෝ ග්ලිරිසිඩියා වැනි ශාක පත්‍ර සහ කොටස් වර්ග සුදුසු වන අතර මෙමගින් කාබනික ද්‍රව්‍යයන් ද පසට එකතු වේ.

වල්‌ මර්ධනය

i. බීජ අල සිටුවා මාස 1කට පමණ පසු පළමු වල්‌ මර්ධනය කළ යුතුය. අවශ්‍ය නම්‌ තුනී වසුනක්‌ නැවත යෙදිය හැකිය.

ii. සිටුවා මාස 3කින්‌ පමණ දෙවන වල්‌ මර්ධනය සිදු කළ යුතුය. ඒ සමඟම වසුනක්‌ යෙදීමෙන්‌ පාංශු තෙතමනය ආරක්ෂා කරගත හැකිය.

පොහොර නිර්දේශ

කහ වගාවට පොහොර අවශ්‍ය වන්නේ, පෙර කන්නයේ අස්වැන්න සමඟ ක්ෂේත්‍රයෙන් ඉවත්වූ පෝෂක ප්‍රමාණය යළි සැපයීමටයි. වල් නෙලීමෙන් පසු පොහොර යොදන අතර පස සමඟ මිශ්‍ර කළ යුතුය. ඊට පසු පාත්ති වසුන් කළ යුතුය. වර්ෂාව සමග පොහොර යෙදිය හැක. නැතහොත් පොහොර යෙදීමෙන් පසු ජලය සම්පාදනය කළ යුතුය. ඊට අමතරව ග්ලිරිසයිඩියා කොළ කාබනික පොහොරක් ලෙස එකතු කළ හැකි අතර එමඟින් රසායනික පොහොර අවශ්‍යතාවය අඩු කර පාංශු තෙතමනය ආරක්ෂා කර ගත හැකිය.

දිග සහ පළල, සෙන්ටිමීටර 120 සහ 300 වන්නා වූ පාත්තියක් සදහා

මූලික පොහොර ලෙස

  • ගොම පොහොර හෝ කොම්පෝස්ට්, කිලෝග්‍රෑම් 5 සහ
  • ට්‍රිපල් සුපර් පොස්පේට් (ටී.එස්.පී), ග්‍රෑම් 50 ක් අවශ්‍යය.

වාරය

කාලය

යූරියා (ග්‍රෑම්)

එම්.ඕ.පී (ග්‍රෑම්)

පළමුවර යෙදීම

සිටුවීමෙන් මාස 01කට පසු

33

50

දෙවනුවර යෙදීම

සිටුවීමෙන් මාස 03 කට පසු

33

50

අස්වනු හා පසු අස්වනු පිළිවෙත්

අස්වනු නෙළීම

අස්වනු නෙලීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 8-10 කට පසුවය. එවිට පත්‍ර කහ පැහැයට පත්ව වියළීමට පටන්‌ ගනී. කහ මාර්තු සහ අප්‍රේල් කන්නයේ සිටුවන්නේ නම් දෙසැම්බර් සහ ජනවාරි වන විට අස්වැන්න නෙළා ගත හැක. අස්වනු නෙළීම සිදු කරනු ලබන්නේ රෛසෝම වලට හානි නොවන ලෙස වන අතර රෛසෝම වෙත ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ලී කැබැල්ලකින් ඉවත් කළ යුතුය. ඉන්පසු පත්‍ර හා මුල්‌ කපා ඉවත්‌ කළ යුතුය.

සැකසීම

  • මවු සහ ඇඟිලි රෛසෝම වෙන් කොට හොඳින් සෝදා සියළුම කඳ කොටස් ඉවත් කළ යුතුය.
  • මැලවීම සඳහා දිනක් පමණ තැබිය යුතුය.
  • මවු රෛසෝම කැබලිවලට කපා ගත යුතුය.
  • රෛසෝම, ජලය තුන් කාලක් පමණ පිරවූ භාජනයක හොඳින් වසා මිනිත්තු 30 ක් පමණ තම්බා ගත යුතුය. මෙහිදී ජලය වෙනුවට වාෂ්පයෙන් තම්බා ගැනීමද කළ හැකි අතර නිසි ලෙස තම්බා ගත් විට රෛසෝම මෘදු වේ).
  • තම්බා ගත් කහ දිනක් පමණ නිවසේ තබා හිරු එළියෙන් වියළීම කළ යුතුය. මෙහිදී පළමු දින තුන තුළ වියළීම පෙ.ව. 11.00 ත් ප.ව. 02.00 ත් අතර තද හිරු එළිය නොවැටෙන පරිදි පැය 3-4 කට සීමා කළ යුතු අතර, ඉන් පසුව අඛණ්ඩව වියළීම අත්‍යවශ්‍ය වේ. සම්පූර්ණ වියළීමේ ක්‍රියාවලියට දින 10 ක් අවශ්‍ය වේ.
  • නිසි ලෙස වියළී පවතින කහ සොලවන විට ලෝහමය ශබ්දයක් ඇසේ.
  • දීප්තිමත් කහ පැහැයක් ලබා ගැනීමට වියළි රයිසෝම රළු මතුපිටක් මත අතුල්ලනු ලැබේ. මෙසේ ඔප දැමීම අතින්‌ හෝ යාන්ත්‍රිකව සිදු කළ හැකිය

අමු අල ගබඩා කිරීම

වර්ෂාවෙන්‌ නොතෙමෙන සේ ආවරණයක්‌ සහිත, සිසිල්‌ වියළි ස්ථානයක කහ ගබඩා කිරීම සුදුසු වේ. මෙහිදී සෙන්ටිමීටර 7ක්‌ (අඟල්‌ 3ක්‌) පමණ දහයියා තට්ටුවක්‌ බිම අතුරා ඒ මත කහ අල තට්ටුවක්‌ ඇතිරිය යුතුය. මෙලෙස මාරුවෙන්‌ මාරුවට කහ සහ දහයියා තට්ටු කිහිපයක්‌ ඇතිරීම වැනි සරළ ක්‍රම භාවිතයෙන්‌ කහ රෛසෝම මාස කිහිපයක්‌ ගබඩා කර තබාගත හැකිය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.