කොකෝවා බහුවාර්ෂික බෝගයක් ලෙස පොල් ඉඩම්වල සාර්ථකව වගා කළ හැකි බෝගයකි. කොකෝවා සඳහා අද වෙළෙඳපොළ හොඳ මිලක් පැවතීම නිසා පොල් වගාකරුවන් අතුරු බෝගයක් ලෙස කොකෝවා වගා කිරීමට උනන්දුවක් දක්වයි. පොල් පර්යේෂණ ආයතනය සිදුකර ඇති අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇත්තේ, පොල් ඉඩම්වල නිසියාකාරව කොකෝවා වගා කිරීම නිසා පොල් ඵලදාව වැඩිවන බවයි. එයට හේතු වන්නේ, පොල් ඉඩම්වල පස සෝදායාම අවමවීමත්, වියළි කොළ ආවරණය වීම නිසා තෙතමනය සංරක්ෂණය වැඩි දියුණුවීමත්, පසට කොළ පොහොර එකතුවීම හා වල් පැලෑටි වර්ධනය අඩුවීමත් නිසාය. කොළඹ, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල, තෙත් සහ අතරමැදි තෙත් කලාපවල පිහිටි පොල් ඉඩම්වල කොකෝවා සාර්ථකව වගා කළ හැකි ය.
“කොකෝවා” මඟින් චොක්ලට් නිෂ්පාදනයට අමතරව
කොකෝවා ප්‍රබේද
ලක්ෂණ | ක්රියෙලෝ | ෆොරස්ටරෝ | ට්‍රිනිටාරියෝ |
---|---|---|---|
බීජ පත්‍රවල පැහැය | සුදු | තද දම් | සුදු - දම් |
ඵලදාව | සාපේක්ෂව අවම | සාපේක්ෂව ඉහළ | සාපේක්ෂව ඉහළ |
රසය | සාපේක්ෂව ඉහළ | සාපේක්ෂව අවම | මධ්‍යස්ථ |
ශාකයේ දිරිය | අවම | සවිමත් | මධ්‍යස්ථ |
රෝග සහ පළිබෝධ සඳහා ප්‍රතිරෝධීතාවය | අවම | ඉහළය | සාමාන්‍ය |
ලංකාවේ මැදරට අතරමැදි හා පහතරට අතරමැදි කෘෂි දේශගුණික කළාප වල කොකෝවා ශාකය හොඳින් වර්ධනය වේ.
ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු වන්නේ පත්‍ර යුගළ් 4 - 8 ක් සහිත පැළය. තවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තවාන්වලින් හෝ එයින් අනුුමත කළ තවාන්වලින් මිළට ගත හැක.
ආරම්භක පොහොර - සිටුවීමට පෙර වියළි ගොම සමඟ මතුපිට පස්, සපෝස් පොස්පේට් ග්‍රෑම් 60 ක් පමණ සහ පොල් ලෙලි කිහිපයක් මිශ්‍ර කර රෝපණ වලවල් පිරවිය හැක. සිටුවීමෙන් පසු බීජ පැල සෘජු හිරු එළියෙන් ආරක්ෂා කරන්න. ජලසම්පාදන භාවිතා නොකරන්නේනම් - වැසි ආරම්භයත් සමඟ රෝපණ සිදු කළ හැක. පැළය වටා පොල් ලෙලිවලින් හෝ තණකොළවලින් අතුරුනුවක් යෙදීමෙන් පැළවල සාර්ථක වර්ධනයක් ලබාගත හැකිය.
විශේෂයෙන් මුල් කාලයේදී කොකෝවා පැලයේ සිට අඩියක පමණ කවයත් පේලි අතර හිඩසත් වල්පැල වලින් තොරව පවත්වා ගැනීම හා එම කොටස වසුනකින් ආවරණය කර ගැනීම ඉතාම වැදගත්ය එසේම කොකෝවා ගසේ මුල් අවදියේ කුඩා පෝෂක මුල් රාශියක් පොළොව මතුපිට අඟල් 6ක් පමණ ගැඔුරට විසිරී ඇති නිසා, වල්නෙලීමේ දී පස පෙරලීමෙන් වැළකිය යුතුය.
කොකෝවා ශාකය ද්විරූපී වර්ධන රටාවක් පෙන්නුම් කරයි.එහිදී කඳ මාස 7-10 ක කාළයක් මීටර 1-1.5 ක් පමණ උසකට සෘජුව ඉහලට වැඩුණු පසු ස්වභාවිකවම පොළොවට සමාන්තරව තිරස් ලෙස අතු කිහිපයක් ඇති කරයි. මෙය ඉංග‍්‍රීසි බසින් “ජෝකටින් ” වීම ලෙස හඳුන්වයි.ඉන්පසු එම ස්ථානයට පහළින් වූ දිය රිකිල්ලක් නැවත සෘජුව ඉහළට වර්ධනය වීමට පටන් ගනී.කොකෝවා ශාකයේ ගෙඩි හටගැනීම සිදුවන්නේ කඳ මත මුලින් පත‍්‍ර ඇති වු ස්ථාන වල පවතින කක්ෂීය අංකුර සක‍්‍රීය වීමෙන් හටගන්නා මල් වලිනි.
මෙම ස්ථාන “කොට්ටන් ” ලෙස හඳුන්වයි.එම ස්ථානවලින් කිහිපවතාවක් ගෙඩි හටගනී.
වැඩි ගෙඩි ප‍්‍රමාණයක් ලබාගත හැකි ආකාරයෙන් අඩි 05 ක් පමණ උස ප‍්‍රධාන කඳක් සහ සාර්ථක අතු ප‍්‍රමාණයක් ලබා ගැනීම සඳහා කොකෝවා පැළ කප්පාදු කිරීම කළ යුතුය. ප‍්‍රධාන කඳේ අතු විහිදීම අඩි 05 කට ඉහළින් තබා ගැනීමටත්, කඳට හොඳින් හිරුඑළිය ලැබෙන ආකාරයෙන් සියලු ම කඳෙන් එන රිකිලි (දිය රිකිලි) ඉවත් කිරීමටත්, දුර්වල අතු ඉවත් කිරීමටත් පියවර ගත යුතු ය. පොල් කැඩීම සඳහා කෙකි ගෙනයාමට බාධාවක් විය හැකි අතුවල කොටස් ඉවත් කිරීම ද අවශ්‍ය වේ.
ගොම පොහොර, කොම්පෝස්ට් හා රසායනික පොහොර යෙදීම පැළවල ඉක්මන් වර්ධනයටත්, වැඩි පලදාවක් ලබාදීමටත් උපකාරී වේ. නිර්දේශීත පොහොර මිශ‍්‍රණය වන්නේ,
සිටුවා පළමු වසර තුළදී මේ මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 60 පැළයකට මාස තුනකට වතාවක් පසේ තෙතමනය ඇති විට යෙදිය යුතුය. දෙවන වසරේදී පැළයකට ග‍්‍රෑම් 250 බැගින් මාස 06 කට වරක් සහ තුන්වන වසරේදී පැළයකට ග‍්‍රෑම් 350 බැගින් මාස 06 කට වතාවක් පසේ තෙතමනය ඇති විට පමණක් යෙදිය යුතුය.
කොකෝවාවලට වැළඳෙන රෝග හා හානිකරන කෘමීන් සන්සන්දනාත්මකව අඩුය. එහෙත් ගෙඩි කුණුවීමේ රෝගය වැදගත් වේ. මෙම රෝගය මර්දනය සඳහා බෝඩෝ මිශ‍්‍රණය හෝ වෙළෙඳපොළෙහි ඇති තඹ අඩංගු දිලීර නාශකයක් භාවිත කළ යුතුවේ. කොකෝවා කැප්සිඩ් මකුණු විශේෂයෙන් වැඩෙන ගෙඩිවලට බලවත් හානි සිදුකරයි. කෘමිනාශක කුඩු වර්ග ඉසීමෙන් මෙම කෘමියා පහසුවෙන් පාලනය කළ හැකිය. පොල් වගාවේදී විශේෂයෙන් වැදගත් වන්නේ කොකෝවා ගෙඩිවලට ලේනුන්ගෙන් වන හානියයි.ලේනුන්ගේ ගහනය අඩු කිරීමට පියවර ගත යුතුය. පොල් ගස්වල ලේන් කූඩු සෑදීමට නොදී පවත්වා ගැනීමෙන් ගහනය පාලනය කළ හැකිය.
පසු මැරීම
පොල් වගාවක කොකෝවා වගාකරන විට කොකෝවා මල් හට ගැනීමට ගතවන කාලය කොකෝවා ප‍්‍රභේදය සහ වගාවේ පාලන තත්ත්වය අනුව තීරණය වේ. සාමාන්‍යයෙන් අවුරුදු 3 ක වගාවකින් ප‍්‍රථම අස්වැන්න නෙළාගත හැකිය. අවුරුදු 5-6 ක් පමණ වන විට මුළු වගාවම පලදරණ තත්ත්වයට පත්වේ.
පොල් වගාවක් තුළ වැඩුණු කොකෝවා ගසකින් වර්ෂයකට සැකසූ කොකෝවා ඇට කිලෝ 01 ක් පමණ පහසුවෙන් ලබාගත හැකිය. කොකෝවා ගෙඩි ප‍්‍රධාන වශයෙන් මුල් කඳේ සහ අතුවල ප‍්‍රධාන ශාකවල හට ගනී. ගෙඩි හොඳින් වැඩී කහ පැහැ වූ විට පමණක් නෙළාගත යුතුවේ. ඇට ලබා ගැනීම සඳහා ගෙඩි පිහිවලින් නොකැපිය යුතු ය. ඇට පිහියට කැපී යාම එයට හේතුවයි. කැපුණු ඇට සැකසීම සඳහා යොදා ගැනීමට අපහසුය. ඉදුන ගෙඩි ලීයකින් ගසා බැලිය හැකි අතර, සෙවල වැනි ශ්ලේශ්මල ආවරණයක් සහිත පැසුන බීජ කෙසෙල් කොළ ඇතුරූ කූඩයක තැන්පත් කර, දින තුනක් පමණ වසා තැබිය යුතුය. එවිට ඇට වටා ඇති සෙවල ආවරණය පැසවීමට ලක්වී දිය වී යයි.
පසුව ඇට හොඳින් ජලයෙන් සෝදා පිරිසිදු කර, හිරු එළියේ වියළා ගත හැකිය. හොඳින් වියලන ලද කොකෝවා සැලකිය යුතු කාලයක් ගබඩා කර තැබීමට පුළුවන. මුලදී වගාව හොඳින් නඩත්තු කළහොත් දීර්ඝ කාලයක් පුරා හොඳ ආදායමක් දිගින් දිගට ම ලබාගත හැකි වේ. අනෙක් අතුරු බෝග හා සැසඳීමේදී වැඩුණු කොකෝවා වගාවක් පාලනය කිරීම පහසු වේ.