පොල් සමඟ කෙසෙල් අතුරු බෝග වගාව (Musaceae)
කෙසෙල් ගසේ සම්භවය වී ඇත්තේ මලයාසියාව ආශ්රිත අග්නිදිග ආසියාවේය. කෙසෙල් ජනප්‍රිය පලතුරක් මෙන්ම එළවළුවකි. දැනට ලෝකයේ වගා කරන වැදගත්ම බෝගයක් වන වී, තිරිගු සහ බඩ ඉරිගු වලට පසුව හතරවන වැදගත්ම බෝගය වශයෙන් සැලකෙන්නේද කෙසෙල්ය. එසේම ලොව පුරා වගා කෙරෙන පළතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණි. ශ්‍රී ලංකාවේ දැනට වගා කරන මුළු පලතුරු බිම් ප්‍රමාණයෙන් 54%ක් පමණ නියෝජනය කරන්නේ මෙම බෝගයයි. මිනිස් ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ සහ කාබෝහයිඩ්රේට වියළි බරින් සියයට 20-30 කින් පොහොසත් කෙසෙල්, ආහාරයට ගැනීම පුදගලයකුගේ, නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ.
පොල් සමග අතුරු බෝග වගාවේදී, වගා කරන අතර ඉතාමත් ජනප්‍රිය වගාවක් ලෙස මෙම කෙසෙල් අතුරු බෝග වගාව හඳුන්වන්න පුළුවන. මෙහිදී කෙටි කලකින් ආදායමක් ලබාගැනීමට හැකිවීමත්, සහ වගා කිරීමට ඇති පහසුව හේතු වී ඇත.
විවිධ කෘෂි දේශගුණික කලාප වලට සුදුසු කෙසෙල් වර්ග
කෘෂි දේශගුණික කලාප | පළතුරක් ලෙස | ව්‍යාංජනයක් ලෙස |
වියළි කළාපය | කෝලිකුට්ටු, ඇඹුල්, සීනි, කන්ඩුල | අලු කෙසෙල්, මොන්දන්, පුලතිසි, ඇටමුරු |
අතරමැදි කලාපය | කෝලිකුට්ටු, ඇඹුල්, සීනි, කන්ඩුල, ආනමාලු, ඇම්බන්, රත් කෙසෙල්, නේත්‍රම්පලම් | අලු කෙසෙල්, මොන්දන්, පුලතිසි, ඇටමුරු |
තෙත් කලාපය | ඇඹුල්, සීනි, කන්ඩුල,ආනමාලු, ඇම්බන්, රත් කෙසෙල්, නේත්‍රම්පලම්, සුවඳැල්, පුවාලු, බිං කෙසෙල් | මොන්දන්, පුලතිසි, ඇටමුරු |
දේශගුණික අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ සියළුම ප්‍රදේශවල සාර්ථකව කෙසෙල් වගාකල හැක. මි.මී. 1250 1900 දක්වා පැතිරුණු වර්ෂාපතනයක් පවතින සෙ.ග්‍රේ. අංශක 27 - 30 අතර උෂ්ණත්වයක් තිබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය අඩු වීමේදී මොරෙයියන් ඇතිවීම, පත්‍ර වර්ධනය හා මල් ඇති වීම අඩු වේ. එමෙන්ම අධික සුළං ඇති ප්‍රදේශ වල වගාව ආරක්ෂා කිරීමට ප්‍රතිකර්ම කළ යුතුය.
පස
කෙසෙල් වගාව පුළුල් පාංශු පරාසයක් තුළ සිදු කළ හැකි අතර වැදගත් වන්නේ මනා ජල වහනයයි. පසේ මැටි ගතිය 40% වඩා අඩු වීමත් භූජල මට්ටම මීටර් 01 වඩා පහලින් පිහිටීමත් හිතකර වේ. පාංශු පී. එච් අගය 4 ත් 5-8 ත් දක්වා වගා කළ හැකි නමුත් ප්‍රශස්ථ මට්ටම වන්නේ පී. එච් 6 -7.5 අතර මට්ටම වේ.
සුදුසු ප්‍රදේශ
වඩාත් සුදුසු ප්‍රදේශ වන්නේ තෙත් සහ අතරමැදි තෙත් කලාප වන අතර වියළි කලාපයේ සුදුසු වන්නේ වර්ෂාව නොමැති කාලයේදී ජල සම්පාදනය කිරීමට ඇති හැකියාව හේතුවෙනි.
සුදුසු පොල් වගාව
- අලුතෙන් වගාකරන ලද පොල් ඉඩම් (වසර පහක් දක්වා)
- වයස අවුරුදු 25 ඉක්මවූ පොල් ඉඩම්.
සිටුවන කාලය
තෙත් කලාපයේදී, අප්‍රේල් මැයි ඔක්තෝබර් සහ නොවැම්බර් වැනි මාසවල වගා කර හැකි අතර, වියලි කලාපයේදී ඔක්තෝබර් නොවැම්බර් යන කන්න දෙක තුළ පමණක් වගා කිරීම යෝග්‍යවේ.
රෝපණ ද්‍රව්‍ය නිපදවා ගැනිමේ ක්‍රම
කෙසෙල් වගාවේ ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ අවශ්‍ය පමණ නීරෝගී, වැඩි අස්වනු දෙන සුදුසු පැළ සොයා ගැනීමේ අපහසුතාවයයි. මේ නිසා ගොවීහූ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තමන්ගේ වගාව සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා ගනී. මේ නිසා කෙසෙල් වගාවට හානිකර රෝග බොහොමයක් මේවන විට රට පුරා ඇති කෙසෙල් වගාවන් වෙත පැතිරී ඇත. කෙසෙල් පැළ නිපදවීමේ ක්‍රම.
- ස්වභාවිකව හට ගන්නා මොරෙයියන්
- ස්වභාවිකව ඇති වන අංකූර උත්තේජනය කිරීම
- පටක රෝපනය
ස්වභාවික ක්‍රම මගින් පදුරකින් ගලවා ගන්නා ලද පැළ
සාමාන්‍යයෙන් කෙසෙල් පදුරක මව් ශාකය සමග පැළ 2-3 ක් පමණ රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම සඳහා තබා ගැනීම නිර්දේශ කෙරේ. මෙම ප්‍රමාණයට වඩා වැඩි පැළ ප්‍රමාණයක් සිටුවීමට සුදුසු අවස්ථාව වන තෙක් මව් පදුරේ තබා ගැනීමෙන් මව් පදුරේ වර්ධනය බාල වී මව් ගසේ කැන් වල ප්‍රමාණය කුඩා විය හැක. සිටුවීමට සුදුසු යැයි සලකනු ලබන්නේ අඩුම වශයෙන් සෙ.මී. 70-80 තරම් වර්ධනය වූ පැළයකි. මෙහිදී පඳුරකින් අවුරුද්දකදී ලබා ගත හැකි වන්නේ අඩු පැළ සංඛ්‍යාවකි. කෙසෙල් පදුරක හටගන්නා මොරෙයියන් ප්‍රධාන වශයෙන් තුන් වර්ගයකි.
- කඩුපත් මොරෙයියන්
මෙවැනි පැළ සිටු වීම සඳහා වඩාත් සුදුසුය. මෙම මොරෙයියන්ගේ කෝමය (අලය) හොඳින් වර්ධනය වී ඇති අතර කද පහළ සිට ඉහළට ක්‍රමයෙන් සිහින් වේ. එනම් කේතු හැඩයක් ගනී. මෙවැනි පැළ වල ආරම්භයේදී හටගන්නා පත්‍ර සිහින් දිගැටි හැඩයක් ගන්නා බැවින් මෙම පැළ කඩුපත් මෙරෙයියන් ලෙස හැදින්වේ. අලය ප්‍රමාණයෙන් විශාල නිසා පැළයේ වර්ධන වේගය වැඩිය. කෙසෙල් මව් ගසේ අලයේ වඩා ගැඹුරින් පිහිටා ඇති අංකුර වලින් මෙම මොරෙයියන් හටගනි. නමුත් වගාවක හටගන්නා මෙවැනි පැළ ප්‍රමාණය සීමිත වන අතර ප්‍රභේද අනුවද මව් ශාකයෙන් ලබාදෙන පැළ සංඛ්‍යාව වෙනස් වේ.
- කන්‍යා මොරෙයියන්
මෙම පැළද සිටුවීම සදහා සුදුසු වේ. මෙම මොරෙයියන්ගේ පත්‍ර පළල්ය. කඳෙහි හැඩය මද වශයෙන් කේතු ආකාරය. කෙසෙල් අලය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් සහිතය. මේ පැළ වල වර්ධනය වේගවත් වන අතර විශාල කැන් හටගනී.
- දියපත් මොරෙයියන්
මෙම වර්ගයේපැළ සිටුවීමට නිර්දේශ නොකෙරේ. මෙම අංකුර කෙසෙල් ගසෙහි අලයේ ඉහලින්ම (පස මට්ටමේ ආසන්නයේ) පිහිටි අංකුර වලින් හටගනී. මේ කඳ ඉතා දුර්වල වන අතර සිලින්ඩරාකාර හැඩයක් ගනී. කෝමය ඉතා කුඩා නිසා එහි තැන්පත් වී ඇත්තේ ඉතා සුළු ආහාර ප්රමාණයකි. පත්‍ර පර්ව අතර දුර ඉතා අඩු වන අතර බොහෝ විට පත්‍ර එකම ස්ථානයකින් හටගන්නා ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙම පැළවල වර්ධන වේගය ඉතා දුර්වලය.
රෝපණ පද්ධති
පරිණත පොල් වගාවන් (අවුරුදු 25ට වැඩි)
ශ්‍රී ලංකාවේ නිර්දේශිත ක්‍රමයට රෝපණය කරන ලද බොහෝ පොල් වගාවන් අඩි 26 ක පරතරයක් ඇතිව පිහිටා ඇත. එබැවින් මෙම ක්‍රමයේදී පොල් ගස් දෙකක් අතර මැද්දට වන්නට කෙසෙල් වගාව සිදු කරනු ලබයි. මෙහිදී එක් පේළියක කෙසෙල් පැල අතර පරතරය අඩි 6-8 ත් අතර පවත්වාගත හැක.
නව පොල් වගාවන් (අවුරුදු 5 දක්වා)
මෙම ක්‍රමය මගින් වැඩි කිසිල් පැල ප්‍රමාණයක් පොල් වගාව අතර සිටුවිය හැක. පොල් පැළවල වර්ධනයට අනුව අවශ්‍ය නම් ආසන්නයේ ඇති කෙසෙල් පැල පසුකාලීනව ඉවත් කළ හැක. මෙහිදී පොල් පේළි දෙකක් අතර කෙසෙල් පේළි දෙකක් යොදයි. එම පේළි අතර පරතරය අඩි 8 විය යුතු අතර, එක් පේලියක පැළ අතර පරතරය අඩි 8ක් පමණ වේ. මෙම දෙපේළි ක්‍රමය පාරිසරික සාධක සහ නඩත්තුව අනුව අවුරුදු 25ට වැඩි වගාව සමගද සිදු කළ හැක
සම්ප්‍රදායික ක්‍රමයට වගා කිරීම
කෙසෙල් වල සලකුණු කිරීමේදී පරතරය පරතරය සලකාබලා ලකුණු කරගත් ස්ථාන වල 60 x 60 x 60 cm (අඩි 1.5 හෝ 2) ප්‍රමාණයට වලවල් කපාගත යුතුය. පසුව ඒ වෙත මතු පිට පස් සහ කොම්පෝස්ට් හෝ වෙනත් කාබනික පොහොර සමග මිශ්‍ර කර වල මුදුන් වන සේ පුරවා දින කිහිපයක් තබා සිටුවීමට යොදා ගන්න. සිටුවීමට පෙර නිරෝගී කෙසෙල් පැළයේ අලය අඩංගු කොටස හොඳින් පිරිසිදු කරගත යුතු අතර දුර්වල කොටස්, මුල්, අංකුර කපා ඉවත් කළ යුතුය. මීට අමතරව සාමාන්‍යයෙන් පොල් සමඟ සිටුවීමේදී වර්ෂා සමයත් සමග රෝපණය සිදුකිරීම වඩාත් සාර්ථකය. නැතහොත් කෘතිම ජල සම්පාදනය ඒ ඒ කෙසෙල් පැළ වෙත යෙදිය යුතුය.
පඳුරු පාලනය
- සිටුවා මාස හතරෙන් පළමු පැළය (මොරෙයියකු) වර්ධනය වීමට ඉඩ හරින්න.
- මව් ගස පීඩන අවස්ථාවේදී, දෙවන පැළය වර්ධනයට ඉඩ සලස්වන්න. නමුත් මව් ගස වැඩීමේ දුර්වල නම් තව මාස 02ක් පමණ පැළ ඇති වීම වැළැක්විය යුතුය.
- මව් කෙසෙල් කැන කපන අවස්ථාවේදී, තෙවන පැළය වැඩීමට ඉඩ හරින්න. මීට අමතරව වැඩෙන පැළ ඉවත් කරන්න.
පොහොර සැපයීම
කෙසෙල් වල නිරෝගී වර්ධනය සඳහා පොහොර යෙදීම වැදගත් වේ. පහත සඳහන් පොහොර මිශ්‍රණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අතර පැළ සිටුවීමෙන් මාස දෙකකට පසුව සහ මාස හතරක පරතරයකින් යෙදිය යුතුය. වාරිමාර්ග කළ නොහැකි නම්, යෙදුම් කාල පරතරය මාස හයක් දක්වා දීර්ඝ කළ යුතුය.
අමුද්‍රව්‍යය | තෙත් කලාපය (පැළයක් සඳහා) | අතරමැදි සහ වියළි කලාපය (පැළයක් සඳහා) |
යූරියා | 110g | 120g |
රොක් පොස්පේට් | 150g | – |
සුපර් පොස්පේට් | – | 80g |
මියුරේට් ඔෆ් පොටෑෂ් | 190g | 250g |
මුළු ප්‍රමාණය | 450g | 450g |
ජල සම්පාදනය
වියළි හා අන්තර් කලාපවල වගා කරන විට තෙත් කලාපයේදී මෙන් නිතර වර්ෂාව නොලැබෙන නිසා ජල සම්පාදනය වැදගත් වේ. සාමාන්‍යයෙන් දින 07 - 10 වරක් ජල සම්පාදනය කිරීම ප්රමාණවත්ය. ජලය වඩාත් හිඟ වන විට වර්ධනය බාල වන අතර වැඩිපුර ජලය සම්පාදනය කළ විට දිලීර ආසාදනය වැඩි වශයෙන් ඇති වීමට ඉඩ ඇත.
කැන්වල ගුණාත්මය වැඩි කිරීම
සිටුවා මාස 10-12 කට පසුව මල් හට ගැනීම ඇරඹේ. ගෙඩිවල පරිණතභාවය සඳහා ගතවන කාලය වර්ගය මත රඳා පවතී.
කැන් නඩත්තු කිරීම කැන් පිදීම ආරම්භ වූ පසුව අවසාන ඇවරිය මතු වී කෙසෙල් මුව කොටස දික් වීමට පෙර පටන් ගන්නා අවස්ථාවේ දී අවසාන ඇවරියේ සිට අඟල් හතරක් පමණ ඉතිරි කර කෙසෙල් මුහය කපා ඉවත්කළ යුතුය. මේ අනුව කෙසෙල් කැන විශාල වන අතර හානිකර සතුන්ට වාසස්ථානයක් අහිමි වීමද සිදු වේ.
ආවරණ යෙදීම කෙසෙල් මුහය කැපූ විගස එය ආවරණය කළ යුතුය. එවිට කැන පෘෂ්ටිමත් වී එහි බර 40% පමණ වැඩි වන අතර රෝග හා පළිබෝධ හානි අවම වීම නිසා බාහිරින් මනා පෙණුමක් ඇති තිත්, කැලැල් රහිත ඉදෙන විට ඒකාකාරී කහ පාටක් ගන්නා කැන් ලබාගත හැක. මේ සඳහා කඩදාසි වලින් සාදාගත් කුඩා, පොල් කොළ ආවරණ, පිදුරු ආවරණ හෝ කෙසෙල් පත්‍ර නටුවලින් සාදාගත් කුඩා යෙදීමට පුළුවන.
ආධාරක තැබීම කැන් පිදීම සිදුවන විට එහි බර වැඩි වන බැවින් මද සුළඟින් පවා ගස් බිදී යාමට ඉඩ ඇත. එම නිසා ආධාරක කණු සවි කිරීමෙන් ගසට කැන දරා සිටීමට සහයෝගයක් පිටතින් ලබා දෙයි.
අග ඇවරි ඉවත් කිරීම කෙසෙල් කැනක අග ඇවරි 2 එනම් මල් ඇවරි දෙක ඉවත් කළ විට කැනෙහි ඉතිරි ඇවරි වල ගෙඩි පෘෂ්ටිමත් වෙයි. නමුත් සාමාන්‍ය වෙළඳ පොලට සපයන විට නම් එය ඉවත් කිරීම ලාභදායි නොවනු ඇත.
රෝග සහ පළිබෝධ
දිලීර රෝග
- පැනමා රෝගය (රෝග කාරකයා – Fusarium oxysporum)
- ඇන්ත්රැන්නෝස් රෝගය (රෝග කාරකයා – colletortichum spp)
- පත්‍ර ලප රෝගය (රෝග කාරකයා - Codana musqe)
- කළු සිගටෝකා පත්‍ර ලප රෝගය (රෝග කාරකයා - Mycosphorella fijiensis)
- කහ සිගටෝකා පත්‍ර ලප රෝගය (රෝග කාරකයා - Mycosphorella musicola)
බැක්ටීරියා රෝග
- ගොබ හිරවීම
- බැක්ටීරියා කුණුවීම
- මොකෝ රෝගය
වෛරස් රෝග
- කෙසෙල් වද පිදීම
- පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය
- කෙසෙල් ඉරි වෛරස් රෝගය
- කෙසෙල් මුව විචිත්‍ර වෛරස් රෝගය
පළිබෝධ
- කඳ ගුල්ලා / අල ගුල්ලා
- කෙසෙල් පැළ මැක්කා
- වටපණුවා
- පළතුරු මැස්සා
- සුදු මැස්සා
- රේන්ද මකුණා
- පිටිමකුණා හා කොරපොතු කෘමියා
ප්‍රතිචාරයක් සටහන් කරන්න