Ganoderma – Rotting disease at the base stem and roots of coconut

ගැනෝඩර්මා - පොල් මුල් හා කඳ පාමුල කුණුවීමේ රෝගය

"ගැනෝඩර්මා බොනිනෙන්ස්" නම් දිලීරය මගින් මගින් මෙම රෝගය වැළඳේ. දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම රෝගය බහුලව ව්‍යාප්තව පවතී. රෝගය වැඩිපුරම දකින්නට ඇත්තේ වයස අවුරුදු 15 ට වැඩි ගස්වලය. රෝගය පැතිරීම ඉතා සෙමින් සිදුවන අතර රෝගය නිසා මුල හා කඳ පාමුල කොටස් දිරා යෑම සිදුවේ. රෝගය වැළඳී අවුරුදු 3ක් හෝ 8ක් පමණ යන විට පොල් ගස මිය යයි. රෝගය ප්‍රධාන වශයෙන් පැතිරීම සිදුවන්නේ රෝගී මුල්, නිරෝගී මුල් හා ස්පර්ශ වීමෙනි.

රෝග ලක්ෂණ

• මුලින්ම දැකගත හැකි ලක්ෂණය වනුයේ, කඳේ පාමුල දික් අතට ඇතිවූ පැලීම් තුළින් රතු-දුඹුරු ඝන උකු තරලයක් ශ්‍රාවය වීමයි. මේ සමගම පාදස්ථයේ මුල් දිරායෑම දකින්නට ලැබේ.
• පසුව පාදස්ථ ප්‍රදේශය ආරම්භ වූ මෙම ඝන උකු දියර වෑස්සීම මීටර් 4ක් දක්වා ඉහළට පැතිරීම සිදුවේ.
• පහත මාලයේ පරිණත නොවූ පත්‍ර වියලීම, මලානික වී කහ පැහැ ගැන්වී, එල්ලී වැටීම මූලික අවස්ථාවේ හොඳින් දැකිය හැකි වන අතර මෙය රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වේ. තවද එය ඉහළ අතු දක්වා පැතිර යයි. දිලීරය මගින් ශාකයේ අභ්‍යන්තර පටක හා මූල මණ්ඩලය විනාශ කිරීම නිසා, ඉහත පරිදි පහත මාලය අතු එල්ලා වැටීම සිදුවේ.
• හටගන්නා වූ ගැහැණු මල් හා ගෙඩි සංඛ්‍යාව ද අඩු වීම ඇරඹේ.
• ආසාදනයෙන් පසුව ගොක් අත්ත සිහින් වීමත් අතු හා වලු අකාලයේ කඩා වැටීම ද සිදු වේ. මේ සමග අතු කෙටි වීම ද දැකිය හැක.
• මුල් හා කඳ පාමුල දිරායෑම කඳ දක්වා ක්‍රමයෙන් පැතිරීම සිදුවේ.
• හානිය වැඩිවන විට නිරාවරණය වූ මුල් හා කඳ පාමුල රතු දුඹරු වලයකින් යුත් “ගැනෝඩර්මා” දිලීර හතු පිපිම තිබෙනවා දැකිය හැකි වේ.
• මේ හැර නිරාවරණය වූ ගොබයේ ළපටි පත්‍ර කොටස් බැක්ටීරියා හා වෙනත් දිලීරයන් ආසාදනය කර කුණු වීමේ ලක්ෂණ ද මතුවී ගොබය ප්‍රදේශයෙන් දුඟදක් හැමීමට පටන් ගනී.
• තවද එය ඉහළ අතු දක්වා පැතිර යයි. දිලීරය මගින් ශාකයේ අභ්‍යන්තර පටක හා මූල මණ්ඩලය විනාශ කිරීම නිසා ඉහත පරිදි පහත මාලය අතු එල්ලා වැටීම සිදුවේ.

රෝග පැතිරෙන ආකාරය

මෙය පස මගින් බෝවන රෝගයකි. රෝගකාරක දිලීර මගින් පිටවන බීජාණු පස තුළ පැතිරී, මුල් ආසාදනය වේ. රෝගී මුල්, නිරෝගී මුල් සමග ගැටීම මගින් රෝගයේ පැතිරීම සිදුවේ. රෝග කාරක බීජාණු සුළගින් හා ජලය මගින් පැතිරීමද සිදුවේ. මේ හැරුණු විට ආසාදිත ශාක කොටස් තැනින් තැනට ගෙන යාම නිසාද රෝගය බෝවේ. රෝගය වැළඳුනු පසු රෝගී ගස් බේරා ගැනීම අපහසුය. එබැවින් රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම අනිවාර්යයෙන් කළ යුතු වේ.

රෝග මර්දනය

මුල්කාලයේදී රෝග හදුනාගත නොහැකි නිසා මර්දනය අපහසුය. වඩාත් වැදගත් වන්නේ රෝගය සෑදීම වළක්වා ගැනීමයි.

1.දැඩි ලෙස රෝගී ගස් පිලිස්සීම

මේ සඳහා දැඩි ලෙස රෝගී ගස් මුල් කොටස් සමඟ උදුරා කඳ පාමුල කොටස් හොඳින් පිළිස්සීම කළ යුතුය. එසේ නොමැති වූ විට ආසාදිත කොටස් වල දිලීරය වර්ධන වීම නිසා තවදුරටත් බීජාණු විසිරී රෝග ව්‍යාප්ත වීම සිදු වේ. තවද මෙම රෝගය කොස්, දෙල්, අඹ හා පුවක් ආදිය ගස් වලටද බෝවන නිසා එවැනි ගස් වල වැඩී ඇති හතුද කපා පුළුස්සා දැමිය යුතුය.

2.ගස වටා අගල් කැපීම

රෝගය ඉතාමත් අඩු අවස්ථාවක පවතින ගස් වටා මීටරයක් පමණ ගැඹුර, සෙන්ටිමීටර තිහක් පමණ පළල අගලක් කැපීම සිදුකරයි. මෙමගින් රෝගී ගස් මුල්, නිරෝගී ගස් මුල් හා ගැටීම මගින් රෝග ආසාදනය වළක්වා ගත හැක

3.පසේ පෝෂක තත්ත්වය දියුණු කිරීම

ගස් වටා කාබනික පොහොර යොදා මෘතෝප ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මගින් මෙම රෝගය ඇති කරන පරපෝෂිත දිලීරයේ ක්‍රියාකාරීත්වය අඩු කරගත හැකිය. තවද ගසේ සමස්ත පෝෂක අවශ්‍යතාවය සපුරා නිසි පෝෂක තත්ත්වයක් පවත්වාගෙන යාම මගින් රෝගයට යම් ප්‍රතිරෝධීතාවයක් ගොඩනඟා ගත හැකි වේ.

4.ජල සම්පාදන හා ජල වහන පද්ධතිය දියුණු කිරීම

වියළි කාලයේ දී ජල සම්පාදනය කිරීම හා වැසි කාලයේ දී ජලය රඳා පවතින ඉඩම් වල ජලවහනය දියුණු කිරීම මගින් පොල් ගස් වල රෝගයට ගොදුරු වීම අඩු කළ හැකිය.

5. දිලීර නාශක යෙදීම

මඳ වශයෙන් රෝගය වැළඳී ඇති ගස් වල ඕජස් ගලන තුවාල වලට තඹ අඩංගු දිලීර නාශකයක් භාවිත කිරීමට නිර්දේශ කෙරේ. රසායනික භාවිතයට පෙර ප්‍රදේශයේ පොල් සලංවර්දන නිළධාරිතුමා හෝ දැනුමක් ඇති පුද්ගලයකුගේ සහය පතන්න.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.