පසුගිය මාස කිහිපය මුළුල්ලේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ good hands ක්‍රියාන්විතය සිදු කළ කටයුතු අතරතුර, එම ප්‍රදේශයේ දුෂ්කර පාසල් කිහිපයක් වෙත පොල් වගාව සම්බන්ධ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට අඩිතාලම තැනිය හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අප ව්‍යාපෘතියේ නිළධාරීන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂණ නිළධාරීන් සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් මාදවී හිදගොඩ මහත්මියත් සමඟ good hands හි ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡා මාලාවක් සිදුවිණ.
මේ සඳහා මාතලේ දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිළධාරී බුද්ධික කල්ප මහත්මා මහඟු සහායක් දැක්විය. එතුමා සමඟ good hands ව්‍යාපෘති නිළධාරීන්, ව්‍යාපෘති සඳහා උචිත පාසල් පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම ඔක්තෝබර් මාසය තුළ සිදු කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස යටවත්ත ප්‍රදේශයේ දූල්ලෑව ගම්මානය සහ දූල්ලෑව මහා විද්‍යාලය තෝරාගත් අතර වැඩසටහන් සංවිධානය කිරීම නොවැම්බර් මාසය පුරා සිදු කෙරිණ.
දූල්ලෑව ගම්මානය සහ දූල්ලෑව මහා විද්‍යාලය
2022 වසරේ නොවැම්බර් 30වන දින, මූලික සංවිධාන කටයුතු අවසානයේදී good hands කණ්ඩායම දූල්ලෑව ප්‍රාදේශයට ප්‍රවිෂ්ට විය. මෙම පාසල ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබුණු අතර නොයෙකුත් ආර්ථික අපහසුතා රැසකින් යුත් දූ දරුවන් 120කට අධික සංඛ්‍යාවක් සිප්සතර හදාරමින් සිටින බව අපට නිරීක්ෂණය කළ හැකිවිය. අඩුපාඩු රාශියකින් සමන්විත වූ එම විදුහලේ දැනට ගුරුවරුන් 27ක් පමණ සේවය කරන අතර, මෙදින වැඩසටහන වෙත 6,7 සහ 8 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ දෙමව්පියන් ද සහභාගි වූයේ දැඩි උනන්දුවකිනි.
ගුරු දෙගුරුන් සහ සිසු සිසුවියන් විසින් අප ඉතා සාදරයෙන් පිළිගත් අතර කොටස් ත්‍රිත්වයකින් යුත් “good hands” වැඩසටහනේ පළවෙනි අදියර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. මේ සඳහා යටවත්ත ප්‍රාදේශය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් කෘෂි සංවර්ධන මණ්ඩලයේ සාමාජික අජිත් මහතා ද, ග්‍රාමසේවා වසම් භාර නිළධාරි නිමල් මහතා ද, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ මන්ඩලයේ නිළධාරී බුද්ධික මහතා ද, පාසලේ විදුහල්පති රේණුකා මහත්මිය ඇතුළු ගුරු දෙගුරුන් මෙන්ම පාසලේ සියළුම සිසු සිසුවියන් සහභාගි විය.
පොල් වගාව, රටේ අනාගතය සහ වගාවෙන් රට ස්වයංපෝෂිත වන්නේ කෙසේද යන්න පිලිබද දීර්ඝ දේශන මාලාවක් අප නිළධාරීන් මණ්ඩලය සහ පැමිණ සිටි ආරාධිතයින් විසින් පවත්වන ලදී. ඉහත දේශන මාලාව අවසානයට පෙර පොල් වගාවෙි වර්තමාන වසංගත තත්වයන් පිළිබඳ දැනුවත් කිරීම් පැවැත්වූ අතර එහිදී, සුදු මැස්සාගේ හානිය සහ මර්දනය විශේෂ විය.
මින් අනතුරුව පොල් වගාව හා ඒ ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම්, සිසු සිසුවියන් වෙත පැවරීම ගුරුදෙගුරුන්ගේ සහායෙන් අප නිළධාරීන් හට සිදු කළ හැකි විය. පොල් බීජ 70 කින් යුතු තවානක් යෙදීම සහ එය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස ආවරණ යෙදීම දූ දරුවන්ගේ කැපවීම මධ්‍යයේ සිදු විය. පාසල් භූමියේ පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහන් මාලාවක්ද මේ අතරතුර අපට සිදු කළ හැකි විය. දෙමාපිය ගොවි මහත්ම මහත්මීන් සතු වගා සම්බන්ධ ගැටලු අප සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩසටහනේ දෙවන අදියර අවසන් විය.
අප විසින් "good hands පොල් වගාවේ අත්පොත" පාසලේ අධ්‍යයන කටයුතු සඳහා සවියක් ලෙසට පාසල් පුස්තකාලය වෙත පිරිනැමීම හරහා වැඩසටහනේ තෙවන අදියරේ ආරම්භය සිදු කෙරිණ. වැඩසටහන් වෙත සහභාගි වූ ගම් වාසී දෙමාපියන් වෙත සහ පාසලේ ගුරුවරුන් වෙත තවාන් කිරීමට පොල් බීජ, රෝපණයට පොල් පැළ සහ අත්පොත් බෙදාහරින ලදී.
යටවත්ත ප්‍රාදේශය ලේකම් කාර්‍යාලය
පාසලේ සංවිධානය කරන ලද වැඩසටහන් පිළිබඳ උනන්දුව දැක්වූ යටවත්ත ප්‍රාදේශීය ලේකම් D.R.K හෙන්නායක මහත්මිය අප ව්‍යාපෘතිය වෙත නොමද ප්‍රශංසා දක්වන ලදී. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් good hands ව්‍යාපෘතිය වෙත තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් අරබයා වැඩසටහනක් සංවිධානය කරන මෙන ආරාධනාවක් ලැබිණ. මේ අයුරින් ව්‍යාපෘතිය වෙත දැක්වූ යහපත් ප්‍රතිචාරය අගය කිරීමක් ලෙස එම පරිශ්‍රයේ රෝපණය කිරීමට පොල් පැළ කිහිපයක් බෙදාහරින ලදී.
ප්‍රතිචාරයක් සටහන් කරන්න