මුළු ලොවටම තර්ජනාංගුලිය ඔසවන අපට නැතිවම බැරි ඔක්සිජන් !

අපගේ ආසන්නතම අසල්වැසියා ඔක්සිජන් වායුව හිඟකමින් වේදනා විඳියි. දිනකට ආසන්න ලෙසින් මිනිසෙකුට ඔක්සිජන් වායුව මිලි ලීටර 550,000 ක් අවශ්‍යවන බව වෛද්‍ය මතයයි. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වුවහොත් නොයෙක් ආකාරයේ සංකූලතාවයන්ට මිනිසුන්ට මුහුණ පෑමට සිදු වීම අරුමයක් නොවේ. මෙහෙයින් අසල් වැසි ඉන්දියාවේ, වෙසෙසින්ම දිල්ලි නගරයේ, ඔක්සිජන් බාර් පිහිටුවා ඇත්තේ අවශ්‍යතාවය අනුව පුද්ගලයින්ට ඔක්සිජන් මිල දී ගැනීම සඳහාය.

ශ්වසනය සඳහා ඔක්සිජන් මිල දී ගැනීමට දිල්ලි නගරයේ පිහිටුවා ඇති ඔක්සිජන් බාර්

මිනිසුන් ආශ්වාස කරන වාතය මගින්ද බද්දක් ලබා ගත හැකිනම්’ ලෙසින් සිතුවේ සිංගප්පූරුවේ නිර්මාර්තෘ ලී ක්වාන් යු අනාගත වක්තෘවරයාය. එය ඔහුට කළ නොහැකි වූවත්, ඉන්දියාවට එය කිරීමට බල කෙරී තිබේ. සංවර්ධනය නාමයෙන් ගොඩ නැගූ කොන්ක්‍රීට් වනාන්තර නිසාවෙන් අපගේ අසල්වැසියන්ට මෙම සන්තෑසියට මුහුණ දීමට සිදු විය. අපගේ අගනුවරටද මෙවැන්නක් සිදු වී ඇතැයි මීට දින කිහිපයකට පෙරාතුව ජාතික පුවත් පත් වල සඳහන්ව තිබුණි. අවිවාදයෙන්ම එම ප්‍රවෘත්තිය ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් සසල කළ බැව් කිවමනා නොවේ. එහෙත් වාසනාවකට මෙන්, ඉන් දින කිහිපයකට පසු මධ්‍යම පරිසර අධිකාරය විසින් නිකුත් කළ නිවේදනයකින් කියැවුනේ එවැනි තත්ත්වක් කොළඹ නගරයේ උද්ගත වී නොමැති බවයි. එහෙත් එවන් තත්ත්වයක් නුදුරු අනාගතයේ දී උදා නොවෙනු ඇතැයි කිව හැක්කේ කවරෙකුටද? මෙම ව්‍යසනයට මුහුණ දිය හැකි එක් වැදගත් පියවරක් වන්නේ සෑම පුරවැසියෙක්ම එක් ගසක් හෝ සිටු වීමයි.

ඒ ඇයි?

හොඳින් වැඩුණු පත්‍ර විශාල ගණනක් ඇති ගසක් දිනකට පරිසරයට මුදා හරින ඔක්සිජන් ප්‍රමාණය මිලිලීටර 230,000 කි. අපට අවශ්‍ය වන්නේ මිලි ලීටර 550,000 - 650,000 කි. පොල් ගසකින් දිනකට පරිසරයට මුදා හරින ඔක්සිජන් ප්‍රමාණය මිලි ලීටර 118,000 ක් පමණ වේ. අපගේ කල්ප වෘක්ෂ ප්‍රමාණය ඉතාමත් ඉක්මණින් අඩු වී ගෙන යන බවත්, එයින් ලැබෙන පලදාවේ හිඟය නිසාවෙන් අපගේ දෛනික ආහාර වේලට අවශ්‍යය වන්නා වූ පොල් මිල අහස උසට නැග ඇති බවත් නොදන්නෙකු අද අපගේ මවු බිමේ නොමැත. කරුණු මෙසේ හෙයින් හුස්ම ලබා ගැනීම පහසු කරනු වස් ඔක්සිජන් ලබා ගැනීමට මෙන්ම, පසුම්බියට පහසුවක් වීම සඳහාත් පොල් පැළයක් රෝපණය කිරීමට නැඹුරු වීම විචක්ෂණ ක්‍රියාවක් නොවන්නේද?

ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය

අපි සැවොම එක්ව, අවම වශයෙන් එක් පොල් පැළයක් හෝ රෝපණය කරමු! ඔබගේ සත්කාර්යයට අපි ඔබට අත් වැලක් වෙමු!

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.