Coconuts in Sri Lanka

ලංකාවේ දැනට වගා කරන සහ දේශීය පොල් වර්ග ගැන බොහොමයක් දෙන දැනුවත් බවින් අඩුය. බොහෝ විට සමාජයේ ඇති මිත්‍යා මත සහ යාවත්කාලීන නොවන උපදෙස් පිළිපැදීම හේතුවෙන්, එක් පොල් ගසකින් හෝ ලැබිය හැකි උපරිම ඵල නොලැබීයයි.

බොහෝ පොල් වගාවේදී, එම පොල් වර්ගය හරියටම හදුනාගැනීමට අපහසුවක් නිසැකවම ඇත. එයට හේතුව ලෙස පොල් ඒක ගෘහී ශාඛයක් නිසා (එකම ශාඛයේ පිරිමි සහ ගැහැණු මල් හටගැනීම) සමහර ශාඛ ස්වභාවිකවම ස්වපරාගනය සිදු වීම සහ සමහර පොල් ශාඛ පරපරාගනය (එක් පොල් ශාඛයක්, වෙනත් පොල් ශාඛයක් සමග පරාගනය) වීමත්ය.

ශාඛ පරපරාගනයේදී වන විට එයින් ඇතිවන පොල් බීජ මගින් ඇතිවන පොල් පැළ, මව් ශාකයේ ලක්ෂණ සහ පිය ශාකයේ ලක්ෂණ හෝ ඒ දෙකෙහිම අඩු වැඩි වශයෙන් සම්මිශ්‍රණයක් ඇති විය හැක. එකම පොල් වර්ගයට වුවද එක් එක් ප්‍රදේශයවල විවිධ නම් භාවිතා කරනු දක්නට ලැබේ. මෙහිදී ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවන හෙයින් විද්‍යාත්මකව සිදු කරන ලද වර්ගීකරණයට අදාළ නම භාවිතය වඩාත් ඵලදායීවේ.

ආචාර්ය ඩී.වී.ලියනගේ මහතා 1958 දි පොල් පර්යේෂණායතනය සමඟ සිදු කරන ලද පොල් වර්ග ගැන හදුනාගැනීමේ පරීක්ෂණ වාර්තාව මගින් ප්‍රධාන පොල් වර්ග 3ක් සහ ඒවායේ අනුබෙදීම් ඇතුළු පොල් වර්ග 13ක් ඉදිරිපත් කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින පොල් වර්ගවල රූප විද්‍යාව සහ අභිජනන හැකියාව අනුව ප්‍රධාන ප්‍රභේද 3කට වර්ගීකරණය කර ඇත.

  1. ටිපිකා (ශ්‍රීලංකා උස පොල් වර්ගය - එස්.එල්.ටී)
  2. නානා (මිටි පොල් වර්ගය)
  3. අවුරැන්ටිආකා (මධ්‍යස්ථ වර්ගය)
    (D.V., M.R.T. , & C., 1988)

ටිපිකා


• උස පොල් වර්ගය ලෙස හඳුන්වනු ලබයි.
• මීටර් 18 පමණ උසට වර්ධනයවන අතර ගසේ කඳ ශක්තිමත්ය.
• කඳේ මුල ගෝලාකාරව විශාලව වැඩේ .
• අඩි 18 පමණ දිගට ගොක් අත්ත වර්ධනය වේ.
• පොල් මල් සැදීමට අවුරුදු 5-6ක් පමණ ගත වේ. (සාමාන්‍යයෙන් පොල් අතු 52ක් හටගත් පසුව පොල් මල පැමිණෙන බව මතයයි).
• මෙම වර්ගයේ පොල් මලෙහි පිරිමි සහ ගැහැණු මල් එකම කාලසීමාවේ ක්‍රියාකාරී නොවන නිසා පරපරාගනය සිදු වේ.
• සාමාන්‍යයෙන් අවුරුද්දකට එක් පොල් ගසක ගෙඩි 40 - 80 අතර නිපදවයි.
• සාර්ථක ඵලදාවක් දෙන ආයු කාලය අවුරුදු 60ක් පමණ වන අතර වියළි දේශගුණයට, පසේ පෝෂක තත්වයේ දුර්වලතාවයන්ට, ලෙඩරෝග වලට සහ කෘමි හානි වලට වැඩි ප්‍රතිරෝධයක් දක්වයි.

ටිපිකා වර්ගයේ පොල් අනුප්‍රබේධ

1. Tall Type

• පොල් ලෙල්ල කොළ වර්ණයේ සිට රතු, කහ, තැඹිලි සහ දුඹුරු වර්ණයන් ගනී.

2. නවසි

• කොළ පැහැති ලෙල්ලක් සහිත වන අතර නොමේරූ පොල් කෙදි ප්‍රනීත රසයක් ඇත (මෙම නිසා සතුන්ගෙන් ගෙඩි වලට වෙන හානිය වැඩිය).
• මෘදු පොල් ලෙල්ලක් ඇති අතර වෙළද වටිනාකම තරමක් අඩුය.

3. ගොන් තැඹිලි

• පොල් ලෙල්ලේ වර්ණය තැඹිලි පැහැයක් වන අතර පොල් අත්තේ මැද නාරටිය ද තැඹිලි පැහැයක් ගනී.
• වෙළද වටිනාකම ඇත්තේ පොල් වතුර (තැඹිලි වතුර) සඳහාය.
• මදයේ තෙල් ප්‍රතිශතය 69.% ක් පමණ ඉහළ අගයක් ඇත.

4. රන් තැඹිලි / රන් පොල්

• කොළ පැහැති පොල් ලෙල්ලක් සහිත වේ. නමුත් වර්තමානයේදී පරපරාගයන වීමෙන් පොල් ලෙල්ල රන්-තැඹිලි පැහැයෙන් දැකිය හැක.
• නොමේරූ ගෙඩියක ඇතුළත රෝස පැහැයක් ගනී.
• ඉතා ඉහල ඖෂධීය වටිනාකමක් ඇත.

5. පොර පොල්

• පොල් කටුව අනෙක් වර්ග වලට වඩා ඝනත්වයකින් යුතු සහ ඉතා කුඩා පොල් වර්ගයකි.
• මදයේ වැඩි තෙල් ප්‍රමාණයක් අඩංගු නමුත් වෙළද වටිනාකම අඩුය.
• සම්ප්‍රදායික පොරපොල් ක්‍රීඩාව සදහා යොදා ගනී.

6. බෝදිරි

• ඉතා විශාල ගෙඩි ප්‍රමාණයක් ඵලදරන මෙම ශාකය දකුණු පළාතේ ප්‍රචලිතය.
• සමහර පොල් වලුවල පොල් ගෙඩි 50ක් තරම් ඉහල ගෙඩි ප්‍රමාණයක් හටගන්නා අතර ගෙඩියේ ප්‍රමයණය අනෙක් වර්ගවලට සාපේක්ෂව කුඩාය.
• තෙල් ප්‍රතිශතය 69.6%ක් පමණ ඉහළ අගයක් ගනී.

7. කමන්දලා

• සාපේක්ෂව විශාල ප්‍රමාණයේ ගෙඩි සහිත මෙම වර්ගය පිලිපීනයේ සැන්රාමන් නමැති පොල් වර්ගයට ඉතා සමානය.
• එක පොල් වල්ලක සෑදෙන පොල් ගණන සාපේක්ෂව ඉතා අඩුය.
• මෙම ශාකයද දකුණු පළාතේ ප්‍රචලිතය.

8. දීකිරි පොල්

• මෙම වර්ගයේ පොල් ගෙඩියේ, මදය සහ පොල් වතුර වෙනුවට ජෙලි වැනි කොටසක් ඇති අතර එය ඉතා ප්‍රනීත රසක් ඇත.
• සාමාන්‍යයෙන් එක වල්ලක ඇති ගෙඩි වලින් කිහිපයක් මෙසේ වන අතර ඉතිරි ගෙඩි සාමාන්‍ය පොල් බවට පත් වේ.
• දීකිරි පොල් බවට පත්වූ ගෙඩි පැළ නොවන අතර එම වර්ගයේ අනිත් ගෙඩි තවාන් කිරීමෙන් දීකිරි පොල් පැළ ලබාගැනීමේ සම්බවිතාවයක් පවතී.

නානා

• මිටි පොල් වර්ගය ලෙස හඳුන්වනු ලබයි.
• මීටර් 10.5 පමණ උසට වැවෙන, දුර්වල කඳක් සහිත ශාකයකි.
• කඳේ මුල ගෝලාකාරව විශාලව වැඩීමක් දැකිය නොහැක.
• අඩි 13 පමණ දිගට ගොක් අත්ත වර්ධනය වේ.
• පොල් මල් සැදීමට අවුරුදු 3-4 පමණ ගත වේ. (සාමාන්‍යයෙන් පොල් අතු 38ක් හටගත් පසුව පොල් මල පැමිණෙන බව මතයයි).
• මෙම වර්ගයේ පොල් මලේ පිරිමි මල් සහ ගැහැණු මල් එකම කාලසීමාවේ ක්‍රියාකාරී වේ. එම නිසා ස්වාපරාගනය සිදු වේ.
• සාමාන්‍යයෙන් අවුරුද්දකට එක් ගසක ගෙඩි ප්‍රමාණය 90-100 කට වැඩි වේ.
• පොල් මදය උස වර්ගයට වඩා තුනී අතර කොප්පර සංයුතිය ඉතාමත් අඩුය.
• සාර්ථක ඵලදාවක් දෙන ආයු කාලය අවුරුදු 40ක් පමණ වන අතර වියළි දේශගුණයට, පසේ පෝෂක තත්වයේ දුර්වලතාවයන්ට, ලෙඩරෝග වලට සහ කෘමි හානි වලට ඉක්මනින් ගොදුරු වේ.
• පාලිත පරිසරයක වගාකර බීජ නිපදවයි.

නානා වර්ගයේ පොල් අනුප්‍රබේධ

1. කොළ කුන්දිරා

• කොළ පැහැති පොල් ලෙල්ලක් ඇති අතර ගොක් අත්තද කොළ පැහැතිය.

2. කහ කුන්දිරා

• කහ පැහැති පොල් ලෙල්ලක් ඇති අතර ගොක් අත්තද කහ පැහැතිය.

3. රතු කුන්දිරා

• රතු පැහැති පොල් ලෙල්ලක් ඇති අතර ගොක් අත්තද රතු පැහැතිය.

4. දුඹුරු කුන්දිරා

• දුඹුරු පැහැති පොල් ලෙල්ලක් ඇති අතර ගොක් අත්තද දුඹුරු පැහැතිය.

අවුරැන්ටිආකා


• මෙය ඉහත වර්ග දෙකට (උස සහ මිටි පොල් වර්ග) අතරමැද වර්ගයකි.
• මීටර් 12 පමණ උසට ගස වර්ධනය වන අතර මධ්‍යම ප්‍රමාණයේ කඳක් සහිත ශාකයකි.
• අඩි 14 පමණ දිගට ගොක් අත්ත වර්ධනය වේ.
• පොල් මල් සැදීමට අවුරුදු 5-6 පමණ කාලයක් ගත වේ.
• මෙම වර්ගයේ පොල් මලේහි පිරිමි මල් සහ ගැහැණු මල් එකම කාලසීමාවේ ක්‍රියාකාරී වේ. එම නිසා ස්වාපරාගනය සිදු වේ.
• සාමාන්‍යයෙන් අවුරුද්දකට ගසක පොල් ගෙඩි ප්‍රමාණය 90-100 කට වැඩි වේ.
• සාර්ථක නිෂ්පාදන ආයු කාලය අවුරුදු 40ක් පමණ වන අතර වියලි දේශගුණයට, පන්ශුතත්වයේ දුර්වලතාවයන්ට, ලෙඩරෝග වලට සහ කෘමි හානි වලට ඉක්මනින් ගොදුරු වේ.

අවුරැන්ටිආකා වර්ගයේ පොල් අනුප්‍රබේධ

1. තැඹිලි

• පොල් ලෙල්ල තැඹිලි පැහැති වන අතර ඉහළ පොල් වතුර ප්‍රමාණයක් ඇත.
• තෙල්වල ඖෂධිය වටිනාකමක් ඇත.

2. නවසි තැඹිලි

• පොල් ලෙල්ල තැඹිලි වර්ණය ගන්නා අතර අනෙකුත් ගති ලක්ෂණ නවසි පොල් වලට සමානය.

3. රත් රන් තැඹිලි /රත් ගොන් තැඹිලි

• පොල් ලෙල්ල රතු-තැඹිලි වර්ණය ගන්නා අතර තැරිය ආසන්නයේ ලෙල්ල කැපූ විට රෝස පැහැ වර්ණයක් ගනී.
• ඖෂධිය වටිනාකමක් ඇත.

4. බෝතල් තැඹිලි

• මෙම වර්ගයේ ඵලය (පොල් ගෙඩිය) බෝතල් හැඩති ස්වරූපයක් ගනී.
(G.K. , S.A.C.N., P.N., & J.M.D.T, 2010)

මූලාශ්‍ර :
D.V., L., M.R.T. , W., & C., J. (1988). COCONUT VARIETIES IN SRI LANKA. Coconut Breeding in Sri Lanka, 1-20.
G.K. , E., S.A.C.N., P., P.N., D., & J.M.D.T, E. (2010). Grouping the new phenotypes under coconut varieties. Varietal Classification of New Coconut (Cocos nucifera L.) Forms Identified, 43-49.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.