Coconut Whitefly Damage (Aleurodicus cocois)

සුදු මැස්සාගේ හානිය (Aleurodicus cocois)

පිටි මකුණා සහ සුදු මකුණා... යන විවිධ නාමයන්ගෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන ග්‍රාමීය ජනතාව මෙම කෘමි හානිය වරදවා වටහාගනු ලබයි. සැබැවින්ම මෙම හානිය සුදු මැස්සා නැත්නම් පොල් සුදු මැස්සා නිසා ඇතිවන්නක් යන්න ඔබ දැනුවත් විය යුතු කරුණකි.

සුදු පැහැති කුඩා කෘමියකු වන මෙම සුදු මැස්සා, පොල් පැළ සහ වැඩුණු පොල් ගස් වල පත්‍රිකා මත ඇති පටක සිදුරු කර ඒ මතින් යුෂ උරා බීම මඟින් පොල් ශාඛයට හානිය සිදු කරයි. ආත්‍රපෝඩා වංශයේ, ඉන්සෙක්ටා කාණ්ඩයට අයත් වන මොවුනගේ, ජීවන චක්‍රය මූලික අවධි 4කින් යුක්ත වේ. පොල් ගසේ පත්‍රවල යටි පැත්තේ මෙම කෘමියාගේ ජීවන චක්‍රයේ අවධි බොහොමයක් අප පියවි ඇසින් හඳුනා ගත හැකිවේ.

බිත්තර අවධිය :

බිත්තර ඉතා කුඩා, ඉලිප්සාකාර, සිනිඳු මතුපිටක් ඇති, කහ සිට දුඹුරු පැහැයක් ගනි. වරකට ගැහැණු සතුන් බිත්තර 30-40 පමණ පිටකරයි. සාමාන්‍යයෙන් පත්‍රයේ යටි මතුපිට සර්පිලාකාර ආකාරයෙන් මෙම අවධිය දිස්වන අතර ඉටි වැනි ආලේපනයකින් බිත්තර ආවරණය වී ඇත.

කීට අවධිය:

බිත්තරයක ප්‍රමාණයට සමාන ශරීර ප්‍රමාණයකින් යුතු සහ පාද සහිත අවධියකි. මෙම අවධිය “ක්‍රොලර්ස්” නමින් හඳුන්වනු ලබයි. මෙම අවධියේදී මොවුන් ධාරක ශාකයේ ශාක පත්‍ර පටක මතින් පෝෂක උරා බීම ආරම්භ කරයි.

පිළවා අවධිය :

ශාඛයෙන් යුෂ උරා බීමට ශරීරාංග හොඳින් වෙනස් වී ඇති අවධියකි. මෙම අදියර මුලදී පෝෂක සිරුරට උරා ගන්නා අතර පසුව පෝෂණය වීම නතර කර, වැඩිහිටි අවධියට බවට පත් වීම සඳහා අභ්‍යන්තර පටක ප්‍රති සංවිධානය කිරීම අරඹයි.

වැඩිහිටි අවධිය :

කුඩා සුදු පැහැ සලබයකු ස්වරූපයක් ගන්නා මෙම අවධිය තරමක් සිහින් දූවිලි හෝ ඉටි වැනි ස්‍රාවයක් නිකුත් කරන අතර ඒවා සිරුරේ දවටාගෙන සිටී. මොවුන් වඩාත් ක්‍රියාශීලී වන්නේ උදෑසන කාලයේදීය. සමූහ වශයෙන් ජීවත් වන මෙම වැඩිහිටි අවධිය විශාල ලෙස සුළඟ මගින් පැතිරීම සිදුවේ. ධාරක ශාඛයේ පත්‍ර මතින් යුෂ උරා බීම ඉහත සඳහන් කළ අනෙකුත් ජීවන අවධි ආකාරයටම සිදු කරයි. සුදු මැස්සා අතිරික්ත දියර පරිවෘත්තීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බැහැර කරන අතර, ඒවා පැණි බිදිති වැනි ඇලෙන සුළු ද්‍රාවණයක් ලෙසින් ගස්වල පහළ මාලයේ අතුවල මතුපිට තැන්පත් වේ. මේ නිසා ශාඛ පත්‍රිකා කළු දිලීර රෝගකට ද පාත්‍ර වේ. මෙය සුදු මැස්සන්ගේ උවදුර නිසා ඇතිවන ද්විතියික ආසාදනයකි.

හානි ලක්ෂණ

  •  පොල් ගසේ පත්‍රවල යටි පැත්තේ තැනින් තැන සුදු පැහැති ඉටි වැනි ද්‍රව්‍යය පැවතීම.
  • පත්‍රවල ක්ලෝරසිස් ලක්ෂණ (පත්‍ර වල කොළ පැහැය අඩුවීම) මතුවී, ලක්ෂණ බහුලවීමෙන් පසුව එකට එකතු වී පත්‍ර පටක අක්‍රමවත් කහ පැහැයක් ගැන්වීම.
  • ඇලෙන සුළු පැණි බිංදු වැනි ද්‍රාවණයක් ගසේ පහළ මාලයේ අතුවල මතුපිට තැන්පත්ව තිබීම.
  • කලාතුරකින් කලු පැහැති (පුස්) දිලීර, පහළ මාලයේ අතුවල පත්‍රිකා මතුපිට ඇතිවීම.
  • උඝ්‍ර හානියකදී ශාඛ පත්‍ර හැලීයාම.
  • ඵලදාව අඩුවීම.


පත්‍ර මත දිලීර වර්ධනය, ක්ලෝරසිස් ලක්ෂණ මතුවීම සහ කෘමියාගේ ජීවන චක්‍රයේ අවස්ථා නිරීක්ෂණය වීම.

-මර්දනය-

භෞතික ක්‍රම

  • අතින් ඉවත් කිරීම.
  • පත්‍ර වල යටි පැත්ත හොඳින් සේදී යන පරිදි පීඩනයකින් යුතුව ජලය සම්පාදනය.
  • ග්‍රීස් ආලේප කළ, කහ පැහැති පොලිතින් කවර පොල් ගසේ කඳ වටා එතීම මඟින් සුහුඹුල් අවධියේ සිටින සතුන් ආකර්ශනය කර මර්ධනය.
  • පොල් වගාව ඇති ක්ෂේත්‍රයේ දුම් ගැසීම. මෙහිදී කොහොඹ සහ මදුරුතලා වැනි ශාක පත්‍ර භාවිතා කරන්න.

රසායනික ක්‍රම

  • 01 ක්‍රමය
  • තයෝමෙතොක්සාම්
  • කාබොසල්ෆාන්

තයෝමෙතොක්සාම් ග්‍රෑම් 3ක් හෝ කාබොසල්ෆාන් මි.ලී. 20ක් ජලය ලීටර් 10ක දියකර මිෂ්‍රණය සකසා ශාඛයේ පත්‍රිකා යටි පැත්ත හොඳින් තෙමෙන පරිදි ඉසීම. 

  • 02 ක්‍රමය
  • ක්ලෝරැන්ට්‍රැනිලිප්‍රෝල් සහ තයෝමෙතොක්සාම්

ක්ලෝරැන්ට්‍රැනිලිප්‍රෝල් සහ තයෝමෙතොක්සාම් අඩංගු කෘමි නාශකයකින් ග්‍රෑම් 2.5ක් ජලය ලීටර් 10ක දියකර මිෂ්‍රණය සකසා ශාඛයේ පත්‍රිකා යටි පැත්ත හොඳින් තෙමෙන පරිදි ඉසීම.

  • 03 ක්‍රමය
  • කොහොඹ තෙල් සහ සබන් මිශ්‍රණය.

අවශ්‍ය ද්‍රව්‍යය

ජලය - ලීටර 1
සබන් කුඩු - ග්‍රෑම් 5
කොහොඹ තෙල් - මි.ලි. 10


ඉහත අමුද්‍රව්‍යය සපයාගෙන හොඳින් මිශ්‍ර කරන්න. පසුව ශාඛයේ, පත්‍රිකා යටි පැත්ත හොඳින් තෙමෙන පරිදි ඉසින්න. සති දෙකකට වරක් මාස 2 ක් පමණ මෙම ද්‍රාවණය ඉසීමට කටයුතු කරන්න.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.