Coconut leaf blight disease

කොළ පුල්ලි රෝගය

පොල් වගා කරන්නා වූ සෑම ප්‍රදේශයකම පාහේ මෙම රෝගය සුලභව දක්නට ලැබේ. අතීතයේ දී පොල් කොළ පුල්ලි රෝගය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශවලට සීමා වූ නමුත් මෑත කාලයේදී වියළි කලාපය ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වි ඇත. මෙයට හේතුව ආසාදිත ශාක කොටස් ප්‍රවාහනය සහ රෝග කාරක දිලීර නව පරිසරයන්ට අනුවර්තනය වීමයි. විශේෂයෙන්ම පොල් ගසට පෝෂක නිසි පරිදි නොලැබීයාමෙන් හෝ අධික නියඟ තත්වයන්ට භාජනයවීමෙන් හෝ නොසලකා දමා ඇති වගාවන්හි මෙම රෝගය බහුලව පවතී. වගා බිමේ පවතින අධික නයිට්‍රිජන් මට්ටම සහ පසෙහි ජලය අනවශ්‍ය ලෙස රඳා පැවතීමද රෝගයට හේතුවේ. රෝග පැතිරීම සුළඟ සහ වර්ෂාව හරහා සිදුවන අතර, සතුටුදායක කරුණ නම් මෙම රෝගය පොල් ගසට මාරාන්තික නොවන බවයි. 

පෙස්ටලෝශියොප්සිස් පාමේරම් සහ බයිපොලාරිස් ඉන්කවේටා නම් පරපෝෂී දිලීරයන් මෙම රෝගයට හේතු වේ. මෙම දෙවර්ගයන්හිම, ජීවන චක්‍රය සමාන වන්නේ, පොල් ගස්වල පත්‍ර ආසාදනය කරන්නාවූ දිලීර රෝග කාරකයන් බැවිනි.

මිය ගිය පත්‍ර හෝ කඳන් වැනි ආසාදිත ශාක කොටස් මතින් දිලීර නිකුත්කරන්නා වූ බීජාණු මඟින් මොවුන්ගේ ජීවන චක්‍රය ආරම්භ වේ. මෙම බීජාණු සුළඟින් හෝ ජලය මඟින් විසිරී ගොස් දීර්ඝ කාලයක් පරිසරයේ නොනැසී පැවතිය හැක. දිලීර බීජාණු තම ජීවිත අවදානමකට ලක්විය හැකි ධාරකයක් මත පතිත වූ විට, ප්‍රරෝහණය වී දිලීර නළයක් නිපදවයි. එවිට එම විශේෂිත නාළ ශාකයේ පත්‍ර තුළට විනිවිද ගොස් අභ්‍යන්තර පත්‍ර පටකයන්ට ඇතුළු වන අතර, එහිදී දිලීර වර්ධනය වී ධාරකයා තම පාලනය යටතට ගනී. මෙලෙස පෝෂණ වී දිලීරය විසින් නව බීජාණු නිපදවා, නව ධාරකයන්ට විසිරගොස් රෝග චක්‍රය නොනවත්වා පවත්වා රෝගය තවදුරත් පතුරවයි.

පොටෑසියම් ඌණතාවයේදී මීට සමීපතම ලක්ෂණ පෙන්වන නමුත්, එහිදී මළකඩ පැහැ තිත් ඇතිවීම මෙම රෝගයෙන් වෙනස් කොට හඳුනා ගැනීමට රුකුලක් වේ.

———————

රූපය 01 – (A) “පෙස්ටලෝශියොප්සිස් පාමේරම්” පරපෝෂී දිලීරය (B) කොළ පුල්ලි රෝගයේ හානි ලක්ෂණ

(C) පොටෑසියම් ඌණතා ලක්ෂණ

රෝග ලක්ෂණ

• රෝගයේ මුල් අවධියේදී, කහ පැහැයට හුරු දුඹුරු පුල්ලි සහ අළු පැහැයට හුරු පුල්ලි, පරිණත පොල් කොළ ඉහළ පෘෂ්ඨය පිරික්සීමේදී නිරීක්ෂණය වේ.

• ඉහත ලක්ෂණ සහිත පොල් කොළයක පහළ පෘෂ්ඨය පිරික්සීමේදී එම පුල්ලි පියවි ඇසට නොපෙනෙන මට්ටමින් පවතින අතර කළු පැහැ පුයරක් ලෙස පරපෝෂිත දිලීර වර්ධනය වේ.

• මෙම පුල්ලි දිගින් මි.මි. 10ක් සහ පළලින් මි.මි. 4ක් පමණ වන අතර පුල්ලි වටා මායිම තද දුඹුරු පැහැතිය.

• කල් ගතවීමේදී මෙම පුල්ලි එකිනෙක සම්බන්ධ වී විශාල දුඹුරු පැහැ පැල්ලම් පෙන්නුම් කර පොල්කොළ වියළීයාම සිදුවේ.

• පොල් ගසේ පහත මාලයේ අතු අතර මෙම ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබේ.

————————

රූපය 02 – (A) දිලීර ආසාදිත ශාක පත්‍ර (B) කහ වර්ණයෙන් යුත් සිදුරු (C) අළු වර්ණ මධ්‍යයක් සහිත කොළ පුල්ලි

-මර්දනය-

සාපේක්ෂව දුර්වල තත්ත්වයේ පවතින පොල් ශාක වෙත මෙම රෝගය ආසාදනය වීමේ සම්භාවිතාව තරමක් ඉහළය. මෙම හානිය හේතුවෙන් ශාක පත්‍රවල ක්‍රියාකාරීත්වයට බලපෑම එල්ලවන හෙයින්, ඵලදාව තරමක් අඩුවීම සිදුවිය හැක. නමුත් නිවැරැදි වගා කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙම රෝගය පහසුවෙන්ම මඟහරවා ගත හැක.

• රෝග ලක්ෂණ තරමක් පවතින්නා වූ වගාවක් සඳහා පොහොර යෙදීම නවත්වා ඇත් නම්, ඒ සඳහා සමතුලිත පොල් පොහොර මිෂ්‍රණයක් යෙදීම අරඹන්න.

• මේ වන විටත් පොහොර යොදන්නාවූ වගාවක් නම්, ඒ සඳහා පහත සදහන් පෝෂක ගසට මාස 6කට වරක් රෝග ලක්ෂණ ඇතිවීම අවම වනතුරු යොදන්න උත්සාහය කරන්න.

පැළ පොල් ගසකටවැඩුණ පොල් ගසකට
මියුරේට් ඔෆ් පොටෑෂ්ග්‍රෑම් 250 ග්‍රෑම් 500
දර අළුකිලෝ ග්‍රෑම් 5කිලෝ ග්‍රෑම් 10

• (මෙලෙස සිදුවන්නේ කලාතුරකිනි) කිසියම්හෙයින් පෝෂක යෙදීමෙන් ප්‍රතිඵලයක් වූයේ නැත්නම්, දිලීර නාශකයක් ලෙස,

– බෝර්ඩෙක්ස් මිෂ්‍රණය හෝ

– ටෙබියුකොනසෝල් 250 g/l EW යෙදීම නිර්දේශ කර ඇත

 * ටෙබියුකොනසෝල් වැනි තඹ අඩංගු දිලීර නාශකයක් භාවිතා කිරීමේදී එම ද්‍රාවණයෙන්, මිලි ලීටර 4ක් ජලය ලීටරයක දියකර, පත්‍ර තෙමෙන සේ සති 2-3කට වරක් යෙදිය හැක.

* බෝර්ඩෙක්ස් මිෂ්‍රණය භාවිතය මඟින් දිලීර රෝග බොහොමයකට ප්‍රතිකාර කළ හැකි අතර පහසුවෙන්ම නිවසේදී සාදා ගත හැක.

– අමුද්‍රවය

කොපර් සල්ෆේට් (පල්මානික්කම්) - ග්‍රෑම් 200

කැල්සියම් ඔක්සයිඩ් (පිළිස්සූ හුණු) – ග්‍රෑම් 200

ජලය - ලීටර 25

- පියවර,

1. කොපර් සල්ෆේට් (පල්මානික්කම්), ජලය ලීටර් 5ක පැය 12ක් පමණ දියවීමට හැරීම. (1 ද්‍රාවණය)

2. පිළිස්සූ හුණු ජලය ලීටර 20ක දියකර සිහින් රෙදි කඩකින් පෙරා ගැනීම. (2 ද්‍රාවණය)

3. 1 ද්‍රාවණය, 2 ද්‍රාවණය වෙත එක් කොට හොදින් කලවම් කර ගැනීම.

- මිෂ්‍රණය සාදාගත් විගස භාවිතා කිරීම මඟින් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැක. මෙහිදි ඔබට අවශ්‍ය දිලීර නාශක පරිමාණයට අදාළව ඉහත අමුද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් කර ගත හැක.

- දිලීර නාශක මිනිස් සිරුරට විෂ සහිත බැවින් ප්‍රවේශමෙන් භාවිතා කරන්න වග බලාගන්න.

————————

රූපය 03 – (A) බෝර්ඩෙක්ස් මිෂ්‍රණය, (B) ටෙබියුකොනසෝල්

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.