2021 නොවැම්බර් මස අග භාගයේදී පාවට්කුලම ශ්‍රී අභිනවාරාමයේ විහාරාධිපති වතුමුල්ලේ සුමනසාර හිමියන් අප හා සම්බන්ධ වූයේ ෆේස්බුක් සටහනකට අනුවය. දිගින් දිගටම අප හා සම්බන්ධ වූ උන්වහන්සේ, විහාරස්ථානයේ සහ ගම් වාසීන් උදෙසා බීජ තවාන් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අප වෙත ආරාධනා කර සිටියේ good hands සංකල්පය පිළිබඳ මහත් සේ පැහැදීමකිනි. පසුව අප සිදුකරන ලද නිරීක්ෂණයන්හිදී මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පැවති ගැටුමට භාජනය වී විනාශ වූ ඉතා දුෂ්කර ගම්මානයක් බව පැහැදිලි විය.
ඒ අනුව පාවට්කුලම ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන පරිශ්‍රය මුල් කර ගනිමින් පාවට්කුලම ග්‍රාමයේ ගම්වාසීන් වෙත බීජ තවාන් පිළිබඳ වැඩසටහනක් පසුගිය පෙබරවාරි මස 23 වැනිදා පැවැත් විණි. විහාරස්ථාන පරිශ්‍රයේ පැවැති මේ සඳහා ගම්වාසීන් 35 - 40 කට අධික පිරිසක් සහභාගි වූයේ දැඩි උනන්දුවකිනි. ව්‍යාපෘතිය සහ පොල් වගාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකින් අනතුරුව විහාරස්ථාන භූමියේ පොල් බීජ තවාන් යෙදීම, පොල් පැළ රෝපණය සහ ගම්වාසීන්ට යොමුකළ පොල් වගාව ආශ්‍රිත ගැටලු ප්‍රායෝගිකව සාකච්ඡා කිරීම අපට හැකි විණ. අවසානයේදී සහභාගි වූ ප්‍රදේශවාසීන් හට අප විසින් තවාන් කිරීමට බීජ පොල්, පොල් පැළ සහ good hands අත්පොත නොමිලේ ලබාදීමට කටයුතු කෙරුණි.
විහාරස්ථානයේ වැඩපිළිවෙළින් අනතුරුව අප පාවක්කුලම ගම්මානයේ වෙසෙන මුස්ලිම් පවුල් වෙත වැඩසටහනක් දියත් කෙරුණි. ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනට මුස්ලිම් සහෝදරයන් කිහිප දෙනෙකුද සහභාගී වූ නිසා ඔවුන්ගේ සහය ඇතිව මුස්ලිම් ගම්වාසීන්ට ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කොට සහ පොල් බීජ හා පැළ ඛෙදාදීම පහසුවෙන් සිදු කිරීමට සාර්ථකව හැකිවිය. අල්-අමීන් මුස්ලිම් මහා විද්‍යාලය ආසන්නයේ පැවති මෙම වැඩසටහන වෙත මුස්ලිම් පවුල් තිහකට අධික සාමාජිකයන් ප්‍රමාණයක් ඉතා උනන්දුවෙන් සහභාගි වූයේ වර්තමානයේ පවතින පොල් සඳහා පවතින අධික අවශ්‍යතාවය ඉස්මතු කරමිනි.
එදින සවස් යාමයේදී ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ඇරියුමට අනුව අවරංතුලාව, ශ්‍රී චේතියගිර පුරාණ රජමහා විහාරය සහ දහම් පාසල් පරිශ්‍රය ආශ්‍රිතව අප විසින් තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. මෙම අවස්ථාව වෙත ග්‍රාමීය සිවිල් ආරක්ෂක ඒකකයේ සාමාජිකයින් සහ ගම්වාසීන් කිහිප දෙනෙකුද සහභාගී විය. එමෙන්ම, අප විසින් දහම් පාසල් සහ විහාරස්ථාන පරිශ්‍රයෙහිදී, පොල් බීජ තවාන් කිරීම සහ පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදුකළ අතර රැස්ව සිටි අයගේ ගැටලු වෙත පිළියම් සහ good hands අත්පොතද නොමිලයේ ඛෙදා දෙනු ලැබිණි.
ඉහත ප්‍රදේශයන්හිදී සිදු කෙරුණ වැඩසටහන් අතරතුරදී උළුක්කුලම, ඉරට්ටපෙරියකුලම සහ මැදවච්චිය යන පොලිස් ස්ථානවලද බීජ පොල් තවාන් කිරීම සහ පොල් පැළ රෝපණය කිරීමක් සිදු කෙරුණි. එක් එක් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ ආරාධනාව පරිදි මෙලෙස good hands විසින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කෙරුණ අතර ඔවුන්ගේ මහත් ප්‍රශංසාවට අප ව්‍යාපෘතිය ලක් විය. අවසානයේදී ඒ පොලිස් ස්ථානයන්හි නිළධාරීන් හටද good hands අත්පොත ලබාදී තවදුරටත් good hands සංකල්පය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට අප ආරාධනා කළෙමු.
ප්‍රතිචාරයක් සටහන් කරන්න