“A coconut plant from a coconut seed” Kamburupitiya

‘පොල් බීජයක් මඟින් පොල් පැළයක්’ කඹුරුපිටිය ප්‍රදේශයේදී

මාතර දිස්ත්‍රික්කයෙන් යෝජනා වී තිබුණ වැඩසටහනක් ලෙස, කඹුරුපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි කොට්ඨාශය 3ක් ආවරණය වන පරිදි good hands ක්‍රියාන්විතය යොමු කිරීමට අප කණ්ඩායම හැකි විය. මෙම වැඩසටහන සංවිධානය කිරීමේ මූලික කටයුතු සූදානම් කිරීමට සිදුවූයේ රටේ ප්‍රවාහන පහසුකම් අවමව පැවති සමයකයදී වීම විශේෂයකි.

2022 වසරේ ජූනි මාසයේදී අපි මෙම ගම්මාන වෙත පැමිණ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සහ සංවිධාන වැඩකටයුතු සිදු කළෙමු. සබද මිත්‍රත්ව සංසදයේ, සමිති සභාපති සදරුවන් මහතා සහ ගම්මානයේ ප්‍රධානීන් සමඟ මූලික වටයේ සාකච්ඡාවෙන් අනතුරුව මාසයක් ඇවෑමෙන්, පසුව අපි වැඩසටහන් දාමයක් සිදු කළෙමු.

අගුරුමලේගොඩ ගම්මානය

මාතර අකුරැස්ස මාර්ගයේ කිලෝමීටර් 25ක පමණ දුර ප්‍රමාණයකින් කරගොඩ උයන්ගොඩ ප්‍රදේශයේ මෙම අගුරුමලේගොඩ ගම්මානය පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ කලක සිට වැලිගම-පොල් කුණු වීමේ රෝගය බෙහෙවින් ව්‍යාප්ත වී පැවති හෙයින්, පොල් වගා කිරීමේදී සහ පැළ සපයා ගැනීමේදී ගැටලු රාශියකට මුහුණ පාන බව ගම්වැසියන් බහුතරයකගේ මතයයි.

සති කිහිපයක් පුරාවට good hands කණ්ඩායම විසින්, සදරුවන් මහත්මා සමඟ සැලසුම් කල පරිදි, අගුරුමැලේගොඩ ගම්වාසී පවුල් බොහොමයක් ආවරණය වන පරිදි මෙම පළමු වැඩසටහන සංවිධානය කෙරිණ. මෙහිදී ව්‍යාපෘතියේ අරමුණු සහ පොල් වගාව සම්බන්ධ තාක්ෂණික තොරතුරු මූලිකවම රැස්ව සිටි පිරිස් වෙත දැනුවත් කෙරුණි. පොල් තවාන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකවද දැනුවත් කිරීමෙන් අනතුරුව, ඒ ඒ පවුල් වෙත සත්කාරයක් ලෙස පොල් පැළ සහ බීජ ලබා දෙනු ලැබිණ. වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ගම්මානයේ සමිති සාමාජික තරුණයන් මෙම අවස්ථාවේදී සිදු කළ උපකාරයන් බෙහෙවින් කැපී පෙනුණි

ගනේගොඩ පුරාණ විහාරය සහ ශ්‍රී නන්දාරාම දහම් පාසල

ගනේගොඩ ප්‍රදේශයට අයත් වන ගනේගොඩ පුරාණ විහාරස්ථානයේදී සහ ශ්‍රී නන්දාරාම දහම් පාසල මූලික කොට ඒ අවට වෙසෙන ගම් වාසී පවුල් ගණනාවකට වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. මෙහිදී මූලිකවම විහාරස්ථානයට අයත් දායක ගම් වාසීන් බොහොමයක් මේ සඳහා යුහුසුළුව සම්බන්ධ විය. විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් ස්වාමීන් වහන්සේ වන ජිනරතන නායක ස්වාමීන් වහන්සේ අනුදැනුමැතිව, තිස්ස ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය අප වෙත නොඅඩුව ලැබුණි.

මේ අනුව ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව පොල් වගාව ආශ්‍රිත ගැටලු සහ වගා ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කිරීමේ වැඩසටහනක් අපට පැවැත්වීමට හැකිවූ අතර අවසානයේ දී විහාරස්ථානයේ සහ දහම් පාසල් පරිශ්‍රයේදී පැළ රෝපණය, බීජ පොල් තවාන් කිරීම සහ වැඩසටහන වෙත සම්බන්ධ වූ ගම්වාසීන්ට පොල් බීජ ලබා දීම සිදු කරනු ලැබිණ. මෙම වැඩසටහනට සම්බන්ධ වූ "කප්රුක" ව්‍යාපෘතියේ කඹුරුපිටිය ප්‍රදේශයේ සභාපති කරුනාරත්න මහතාගේ පැසසුම්ද අප ව්‍යාපෘතියට නොමඳව ලැබිණ.

කරගොඩ උයන්ගොඩ

අගුරුමලේගොඩ ගම්මානයට යාබද කරගොඩ උයන්ගොඩ ගම්මානයේදී මීළඟ වැඩසටහන අප දියත් කළෙමු. කරගොඩ උයන්ගොඩ ගොවිජන සේවා ආයතන පරිශ්‍රයකදී, ආර්ථික සංවර්ධන නිළධාරී, උදේනි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු විණ. මෙහිදීද ගම්වාසී පවුල් විශාල සංඛ්‍යාවක් අප සිදු කල වැඩසටහනට සහභාගි විය. සාමාන්‍ය පරිදි, දැනුවත් කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව පොල් බීජ බෙදාදීමක් අත්වැලක් ලෙස රැස්ව සිටි ගම්වාසීන් හට ලබාදීම සිදු කෙරිණ.

අවසානයේදී උක්ත ගම්මාන ත්‍රිත්වයේ ගම්වැසියන් හට ලබාදුන් බීජ පොල් සහ පොල් පැළ, රෝපණයෙන් අනතුරුව සහ එහි වර්ධනය පිරික්සීමේ වැඩපිළිවෙළක්, සදරුවන් මහතා සහ උදේනි මහත්මිය සමඟ මෙම වැඩසටහන් අවසානයේදී සාකච්ඡා කෙරිණ.

කරගොඩ උයන්ගොඩ මහජන ආරක්ෂක කමිටු නිළධාරී කාර්යාල සහ කඹුරුපිටිය පොලිස් ස්ථානය

පොලිස් සැරයන්, අබේවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ ද පොල් පැළ සහ බීජ රෝපණය කිරීමක් ඉහත අප වැඩසටහන අතරතුරදී සිදු කෙරිණ. පසුව ඒ මාර්ගයෙන් කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ගුණසිංහ මහත්මයා දැනුවත් කිරීමෙන් පසු ලැබුණ ආරාධනයට අනුව, කඹුරුපිටිය පොලිස් ස්ථාන පරිශ්‍රය වෙත අප කණ්ඩායම ළඟා විණ. එහිදී ඔහුගේ නොමඳ පැසසුම් වලට අප ව්‍යාපෘතියේ කාර්යයන් පාත්‍ර වූ අතර, පරිශ්‍රයේ රෝපණය සඳහා පොල් පැළ ලබාදීමක් සහ පොල් පිළිබඳව තොරතුරු ඇතුළත් good hands අත් පොත රැස්ව සිටි පොලිස් නිළධාරීන් වෙත පිරිනැමීමක් සිදු කෙරිණ.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.